ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාට කෙන්යාවෙන් පූර්ණ හමුදා ගෞරව

කෙන්යාවේ ආරක්‍ෂක අංශ ප්‍රධානී ජෙනරල් ෆ්‍රැන්සිස් ඔමොන්ඩි ඔගොල්ලා විසින් සිදු කළ ආරාධනයකට අනුව මෙරට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා කෙන්යාවේ නිල සංචාරයක නිරත වී තිබෙනවා.

එම සංචාරයේ අරමුණ බව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ මාධ්‍ය අංශය පෙන්වා දෙන්නේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීම අනුව ශ්‍රී ලංකාව සහ අප්‍රිකානු කලාපීය රටවල් අතර ආරක්‍ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම බවයි.

කෙන්යාව වෙත පැමිණි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාට, එරට ආරක්‍ෂක අංශ ප්‍රධානී ජෙනරල් ඔගොල්ලා සහ ගුවන් හමුදාපතිවරයා විසින් ඉතා උණුසුම් ලෙස පිළි ගනු ලැබූ අතර, එම අවස්ථාවේ දී කෙන්යානු ගුවන් හමුදා සාමාජිකයන්ගෙන් සැදුම් ලත් විශේෂ සම්මාන මුරයක් විසින් පුර්ණ හමුදා ගෞරව පුද කරනු ලැබූ බවයි එම මාධ්‍ය අංශය පවසන්නේ.

උත්සවය අතරතුර, කෙන්යාවේ ආරක්‍ෂක අංශ ප්‍රධානී විසින් එරට ආරක්‍ෂක අංශ උප ප්‍රධානී, ලුතිනන් ජෙනරල් චාර්ල්ස් කහාරිරි (Charles Kahariri) මෙන් ම යුධ සහ ගුවන් හමුදාපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, ශ්‍රී ලංකා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි වෙත හඳුන්වා දෙනු ලැබුණා.

තව ද කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වේළුපිල්ලෙයි කනනාදන් මහතා ද මෙම අවස්ථාවට එක් වී තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!