පාස්කු දේව මෙහෙයන්ට විශේෂ ආරක්ෂාවක්

පාස්කු දේව මෙහෙයන් වෙනුවෙන් කිතුනු දේවස්ථානවල ආරක්ෂාවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් දේව මෙහෙයන් සඳහා පැමිණෙන පුද්ගලයන් හා ඔවුන්ගේ ගමන් මලු පරීක්ෂාව ඇතුළු දේවස්ථානවල ඉල්ලීම පරිදි ආරක්ෂක ක්‍රමවේදයන් යොදන ලෙස පොලිස්පතිවරයා සියලු ම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් වෙත උපදෙස් දී ඇතැයි වාර්තා වනවා.

මෙම ආරක්ෂක සැලැස්ම යටතේ, ප්‍රාදේශීය ත්‍රිවිධ හමුදා කඳවුරු භාර නිලධාරීන් ද සමග සාකච්ඡා කර ඔවුන්ගේ ද සහාය ලබාගැනීමට පියවර ගන්නා ලෙසයි පොලිස්පතිවරයා නියෝග කර ඇත්තේ.

මේ අතර, හෙට (26) සහ අනිද්දා (27) යන දෙදින තුළ දිවයිනේ සියලු ම පොලිස් ස්ථානාධිපතිවරුන්ට, වසම අයත් සියලු ම දේවස්ථාන වෙත ගොස් පියතුමන්ලා හා දේවස්ථානවල භාරකාර මණ්ඩල සාමාජිකයන් හමුවී විශේෂ ආරක්ෂක සැලැස්මක් සකස් කරන ලෙස නියෝග කර ඇති බව ද ජාතික පුවත්පතක් වාර්තා කරනවා.

මේ සඳහා ප්‍රජා පොලිස් කමිටු, දේවස්ථාන පියවරුන් සමග ඒකාබද්ධ කිරීමට ද නියෝග කර තිබෙන බවයි එම පුවත් වාර්තාව වැඩිදුරටහ් සඳහන් කරන්නේ.

මාර්තු 29 ට යෙදෙන මහ සිකුරාදා දිනය සහ මාර්තු 31 ට යෙදෙන පාස්කු ඉරිදා දිනය වෙනුවෙන් කිතුනු දේවස්ථානවල දේව මෙහෙයන් පැවැත්වීමට නියමිතයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!