ෂාෆ්ටර්ගේ දුරකතන සහ පරිගණක ගැන විශේෂඥ වාර්තාවක් ඉල්ලයි

ඝාතනයට ලක් වූ ප්‍රසිද්ධ ව්‍යාපාරික දිනෙෂ් ෂාෆ්ටර් මහතාගේ ජංගම දුරකතන සහ පරිගණක දත්ත සම්බන්ධයෙන් විශේෂඥ වාර්තාව කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි දන්වා රජයේ රස පරීක්ෂකවරයාට සිහිකැඳවීමේ ලිපියක්, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ශණ කැකුණුවෙල මහතා අද(20) නිකුත් කර තිබෙනවා.

මරණකරු භාවිතා කළ විද්‍යුත් උපාංග සම්බන්ධයෙන්, රජයේ රස පරීක්ෂක වාර්තාව තවමත් ලැබී නොමැති බවට ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් පසුවයි මහේස්ත්‍රාත්වරයා එම සිහි කැඳවීමේ ලිපිය නිකුත් කිරීමට නියෝග කර ඇත්තේ.

මරණකරුගේ ජංගම දුරකතන සිම්පත ව්‍යාපාර කටයුතු සඳහා භාවිතා කිරීමට බිරිඳට ලබාදීම සම්බන්ධයෙන් වන ඉල්ලීම රජයේ රස පරීක්ෂක වාර්තාව ලැබුණු පසු සලකා බලන බව ද අතිරේක මහේස්ත්‍රාත්වරයා දන්වා තිබෙනවා.

එසේ ම අදාළ සිම්පත ලබාදීමේ හැකියාව සම්බන්ධයෙන් සලකා බලා, ඒ පිළිබඳ වාර්තාවක් ලබන නඩු වාරයේ දී ඉදිරිපත් කරන ලෙස ද රහස් පොලිසියට දන්වා තිබෙනවා.

දිනෙෂ් ෂාෆ්ටර් මහතා ඝාතනයට ලක්වීමට පෙර ව්‍යාපාර කටයුතු සඳහා භාවිතා කළ දුරකථන අංකය දැක්වෙන සිම්පත හෝ නව සිම්පතක් තමාට ලබාගැනීම සඳහා නියෝගයක් ලබාදෙන ලෙසට දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ බිරිද ජනාධිපති නීතිඥ අනුජ පෙමරත්න මහතා හරහා කළ ඉල්ලීම සම්බන්ධයෙන් කරුණු දක්වමින් මහේස්ත්‍රාත්වරයා ඒ බව පවසා තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අනාවරණය කර ගැනීමේ විමර්ශන, තවදුරටත් සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට දන්වා තිබෙනවා.

බොරැල්ල පොදු සුසාන භූමිය අසල දී සිදු වූ අභිරහස් සිද්ධියක් හේතුවෙන්, කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ ෂාෆ්ටර් මහතා ඉකුත් වසරේ දෙසැම්බර් මස 16 දින මියගොස් තිබුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!