හමුදාවට ප්‍රමිතගෙන් උපදෙසක්

ඇති විය හැකි ස්වභාවික සහ අනෙකුත් හදිසි ආපදාවන්ට මුහුණදීම සඳහා නිසි සැලැස්මක් තිබීම සහ එවැනි විපත්වලට මුහුණ දෙන අනෙකුත් රටවලට ද සහාය විය හැකි වන පරිදි අපගේ හැකියාවන් වර්ධනය කර ගැනීම අත්‍යවශ්‍ය බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් දැක්වුයේ, මත්තේගොඩ පිහිටි යුධ හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ විද්‍යාත්මක සහ න්‍යෂ්ටික ප්‍රතිචාර රෙජිමේන්තුවේ සංචාරයක නිරත වෙමින්.

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා ඊයේ (26) ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ විශේෂ අවස්ථාවන් කෙරෙහි ප්‍රතිචාර දැක්වීම සඳහා වන පෙර සූදානම පිළිබඳ සොයා බැලීම සඳහා මත්තේගොඩ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු රෙජිමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

මත්තේගොඩ පිහිටි 14 වන රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ විද්‍යාත්මක සහ න්‍යෂ්ටික ප්‍රතිචාර රෙජිමේන්තුව වෙත පැමිණි රාජ්‍ය අමාත්‍යවරයා, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් එම් කේ ජයවර්ධන විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබුවා.

ඉන් අනතුරුව පැවති දැනුවත් කිරීමේ වැඩසටහනේ දී රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ විද්‍යාත්මක සහ න්‍යෂ්ටික ප්‍රතිචාර, පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීම සහ යුද හමුදා ඉංජිනේරු බලකායේ මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ හැකියාවන් සහ මෙහෙයුම් පිළිබඳ සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක් සිදු කරනු ලැබුවා.

රාජ්‍ය අමාත්‍යවරයා විසින් එම නිෂ්ක්‍රිය සහ ප්‍රතිචාර දැක්වීම් සඳහා යොදා ගන්නා උපකරණ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඒ සඳහා විශේෂ පුහුණුවක් ලැබූ භට පිරිස් විසින් සිදු කල නිදර්ශනාත්මක හැකියාවන් ප්‍රදර්ශනය කිරීමක් ද නිරීක්ෂණය කරනු ලැබුවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!