ඇමතිගේ තර්ජන ගැන හෙළිකරමින් ඉවත් වූ සභාපති

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ මරණීය තර්ජන හේතුවෙන් තවදුරටත් රාජකාරි කිරීමට නොහැකි බව ජනපතිවරයාට ලිපියකින් දන්වා යවමින්, සී-නෝර් පදනමේ සභාපති ආචාර්ය දුලාන් හෙට්ටිආරච්චි මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ අනුව සී-නෝර් පදනමේ සභාපති ආචාර්ය දුලාන් හෙට්ටිආරච්චි මහතා ලිපියක් මගින් ජනාධිපතිවරයාට දන්වා ඇත්තේ, ධීවර කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා තමාට තර්ජනය කරමින් අල්ලස් ඉල්ලන බවත්, ඒවා ලබා නොදුන් ඇතැම් අවස්ථාවල විවිධ මාර්ගවලින් මරණීය තර්ජන කරන බවයි.

ධීවර රාජ්‍ය අමාත්‍යාංශය යටතේ තිබෙන සීමාසහිත සී නෝර් පදනම දිගින් දිගමට පාඩු ලබන තත්වයක තිබිය දී තමා සභාපති ධුරය බාරගත් බවත්, පියල් නිශාන්ත මහතා එම ආයතනයට සේවකයන් විසි දෙනකුට අලුතෙන් පත්වීම් දුන් බවත් හෙට්ටිආරච්චි මහතා ජනාධිතිවරයාට යවා ඇති ලිඛිත පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

තව ද හෙට්ටිආරච්චි මහතා ජනාධිපතිවරයාට යැවූ ලිපියේ, රාජ්‍ය අමාත්‍යවරයා සිය ආසනයේ ඡන්දදායකයන්ට බෙදා දීමට බව කියමින් රුපියල් දස දහසක් වටිනා බඩු මලු ඉල්ලා සිටින අතර අතැම් අවස්ථාවල බඩු මලු මිලදී ගැනීම සඳහා මුදල් ඉල්ලා තර්ජනය කරන බව ද සඳහන් කරනවා.

එසේ ම අලුත් සේවකයන්ට අමාත්‍යාංශයෙන් වැටුප් ගෙවන ලෙස තමාට බලපෑම් කරන බව ද එම ලපියේ සඳහන්.

රාජ්‍ය අමාත්‍යවරයාගේ මෙම තර්ජන හේතුවෙන් තමා බලවත් චිත්ත පීඩාවකට පත්ව, රාජකාරී කටයුතු කර ගැනීමට අපහසු වී ඇති බව ද එම නිසා තමන් ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණයක් ගත් බවද දුලාන් හෙට්ටිආරච්චි මහතා ජනාධිපතිවරයාට යවා ඇති ලිපියේ සඳහන් කරනවා.

තමා සභාපති ධුරය භාරගත් පසුව ආයතනයේ තිබූ රුපියල් කෝටි පහක බැංකු අයිරාව ගෙවා, ආයතනය ලාබ ලබන තත්ත්වයට පත් කළ බව ද, සී නෝර් අවන්හලේ නඩු කටයුතු නිමවා රුපියල් ලක්ෂ 80ක මුදලක් ආයතනයට ලබා ගත් බව ද ඔහු ජනාධිපතිවරයාට දන්වා තිබෙනවා.

තව ද ෆයිබර් නිෂ්පාදනයට පමණක් යොමු වී තිබූ සී නෝර් ආයතනය,සිවිල් ඉදිකිරීම්වලට අවතීරණය කිරීම, ඔස්ට්‍රෙලියානු ආයෝජන සී නෝර් ආයතනය වෙත ලබා ගැනීම සහ ඉන්දියානු රාජ්‍ය ආයතන සමග සාකච්ඡා කර රුපියල් කෝටි 29ක් ආයතනයේ දියුණුව සඳහා ලබා ගැනීම වැනි විශාල කටයුතු තමාගේ ධුර කාලයේ දී සිදුකළ බව ද ඔහු ජනාධිපතිවරයාට යවා ඇති ලිපියේ සඳහන්.

මේ අතර සිනෝර් සභාපතිවරයා නගන චෝදනා පිළිබඳව ජාතික පුවත්පතකට අදාළ වෙබ් අඩවියක් ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගෙන් කළ විමසුමක දී ඔහු සඳහන් ක‍ර තිබුණේ, තමාට එල්ල කරන චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බවයි.

තමාට දෙන ඕනෑ ම අමාත්‍යාංශයක වගකීම නිසියාකාරව ඉටුකරන බව පැවසූ පියල් නිශාන්ත මහතා ඊට සඳහන් කර තුබුණේ, සී.නෝර් ආයතනයේ සභාපතිවරයා සමග තමාට කිසිදු ගැටලුවක් නොතිබූ බවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!