ලංකාවේ පාසල්වලට ඇවිත් ‘Microsoft’ කරන්න හදන දේ

අනාගතයේ දී පාසල් පද්ධතියෙන් පිටවන දරුවන් නව ආර්ථික ප්‍රවණතාවන්ට අනුගත විය හැකි අයුරින් සූදානම් කරවීම අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනස තුළින් අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍යආචාර්ය සුසිල් ප්‍රේමිජයන්ත මහතා පවසනවා,

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති ‘ජාතික තොරතුරු තාක්ෂණ ශූරයෝ – 2023’ ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමිනුයි.

අධ්‍යාපන අමාත්‍යංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව විසින් ශ්‍රී ලංකා පරිගණක සංගමය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත මණ්ඩලය හා කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යනාංශය එක්ව මෙම ජාතික තොරතුරු තාක්ෂණ ශූරයෝ තරගාවලිය වාර්ෂිකව සංවිධානය කරනු ලබනවා.

ඉදිරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ තොරතුරු සන්නිවේදන තාක්ෂණය පමණක් නොව කර්මාන්ත සංවර්ධන ක්ෂේත්‍රයන්හි නිරතවීම සඳහා දරුවන්ට පුළුල් ඉඩප්‍රස්ථා සලසා දීමට අපේක්ෂා කරන බවත් ඒ සඳහා දරුවන් දිරිගැන්වීම පිණිස පාසල් මට්ටමේ සිට ජාත්‍යන්තර මට්ටම තෙක් ක්‍රියාවට නැංවෙන ඔලිම්පියාඩ් වැනි තරග සඳහා දරුවන් සම්බන්ධ කර ගැනීමට සහ ඒ සඳහා ඔවුන් සූදානම් කරවීමට අවස්ථා සලසා දෙන ලෙස අවධාරණය කර සියලු පාසල් ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් මගින් උපදෙස් ලබාදීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

එමෙන්ම අටවෙනි ශ්‍රේණියෙන් ඉහළ සිසු දරුවන්ට තොරතුරු තාක්ෂණය සමඟ කෘතිම බුද්ධිය විෂයක් වශයෙන් හැදෑරීමට අධ්‍යාපන අමාත්‍යංශය විසින් අවස්ථාව සලසනු ලබන බව ද එහි නියමු වැඩසටහන Microsoft ආයතනයේ අනුග්‍රහයෙන් දිවයි‍නේ සියලු පළාත් නියෝජනය වන පරිදි තෝරාගත් පාසල් 20 ක් තුළ මාර්තු මස 19 (අද) සිට ආරම්භ කෙරෙන බව ද මේ සදහා‍ තොරතුරු තාක්ෂණ ගුරුවරුන් 100ක් පුහුණු කිරීමට මේ වනවිට කටයුතු කර ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!