ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හතරකට IPL මග හැරෙන ලකුණු

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලබා සිටින, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වන දුෂ්මන්ත චමීර, මතීෂ පතිරණ, ඩිල්ෂාන් මධුශංක සහ වනිඳු හසරංග ආබාධවලට ලක්ව සම්පූර්ණයෙන් සුවය ලබා නොමැති නිසා ඔවුන්ට එම තරගාවලිය අහිමි වීමේ අවධානමක් මතුව තිබෙනවා.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරග වාරය අවසන් වීමෙන් අනතුරුව දින කිහිපයකට පසුව 2024 ICC T20 ලෝක කුසලානය ආරම්භ වීමට නියමිත බැවින්, පූර්ණ යෝග්‍යතාවයෙන් තොර සහ ආබාධවලින් සුවය නොලැබූ ක්‍රීඩකයින් නිදහස් නොකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ නමුත් මේ වන විට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාවි වීම සඳහා ගිවිසුම් ගත කණ්ඩායම සමග එක්ව ඇත්තේ මහීෂ් තීක්ෂණ සහ නුවන් තුෂාර පමණයි.

මේ අතර ශ්‍රී ලංකා බංග්ලාදේශ ටෙස්ට් සංචිතයට ද නම් කර සිටින සුපිරි ක්‍රීඩක වනිඳු හසරංග ද බංග්ලාදේශ තරගාවලියට ක්‍රීඩා කළේ, විලුඹේ ආබාධයක් සමඟයි.

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සිකුරාදා ආරම්භ වීමට නියමිත අතර එහි පළමු තරගය චෙන්නායි සුපර් කිංග්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් අතර පැවැත් වීමට නියමිතයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!