‘වැහුවෙ මොන ස්පා එක ද’ අහලා ගනුදෙනුකරුවන්ගෙන් පොලිසියට කෝල්

මීගමුවේ සම්බාහන මධ්‍යස්ථානවලින් එච්.අයි.වී. වයිරසය ශරීරගත වූ කාන්තාවන් දෙදෙනකු සොයාගැනීමත් සමග ඔවුන්ගෙන් සේවය ලබාගත් පාරිභෝගිකයන් වෛද්‍ය පරීක්ෂණවලට යොමු කිරීමට පොලිසිය සහ සෞඛ්‍ය අංශ ඒකාබද්ධව විමර්ශනයක් ආරම්භ කර ඇති බව ජාතික පුවත්පතක් වාර්තා කරනවා.

ඒ අනුව අදාළ සම්බාහන මධ්‍යස්ථාන වෙත සේවය ලබාගැනීම සඳහා පැමිණි පුද්ගලයන් සම්බාහන මධ්‍යස්ථාන වෙත ලබා දී ඇති පෞද්ගලික තොරතුරුවලට අනුව එම පුද්ගලයන් හඳුනාගැනීමට මේ වන විට කටයුතු කරමින් ඇති බවයි එම පුවත් වාර්තාව වැඩිදුරටත් දක්වන්නේ.

මේ අතර ඊයේ (27) මීගමුව ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානවලින් එච්.අයි.වී. ආසාධිත කාන්තාවන් දෙදෙනෙකු හඳුනාගත් බව සැලවීමත් සමග ඔවුන් සේවය කළ සම්බාහන මධ්‍යස්ථානය පිළිබඳ දැනගැනීම සඳහා පොලිසිය වෙත දුරකථන ඇමැතුම් රැසක් ලැබෙන බව පොලිසිය සඳහන් කරන බවයි එම පුවත්පත සඳහන් කරන්නේ.

පසුගිය දිනක මීගමු ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූ පුද්ගලයන් සඳහා සිදුකළ වෛද්‍ය පරීක්ෂණයක දී එයට සහභාගී වූ එක් අයකුට එච්.අයි.වී. වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී තිබෙන බවත්, ඉන් අනතුරුව අදාළ අංශ විසින් ඔහුගෙන් කරන ලද විමසීම්වල දී හෙළිවී ඇත්තේ ඔහු දීර්ඝකාලීනව සම්භාහන මධ්‍යස්ථානවල සේවය ලබාගත් සාමාජිකයකු බවයි.

ඉන් අනතුරුව විමර්ශනයක් ආරම්භකර සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් ගණිකා නිවාස පවත්වාගෙන ගිය මධ්‍යස්ථාන පනස් තුනක සේවයේ නියුතු කාන්තාවන් 137 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එම පිරිස අතර වයස අවුරුදු 15ක බාලවයස්කාර දැරියක්ද සිට තිබෙනවා.

මෙම පිරිස අතර එච්.අයි.වී. ආසාදිත කාන්තාවන් දෙදෙනෙකු හා සමාජ රෝග වැලඳුණු කාන්තාවන් හත්දෙනෙකු හඳුනාගෙන ඇති බවත් ඊයේ (27) වන විටත් ආදාළ සම්බාහන මධ්‍යස්ථාන 53ක් වසා දැමීමට කටයුතු කර ඇති අතර එම මධ්‍යස්ථානවල නාමපුවරුද පොලිසිය විසින් ගලවා ඉවත්කර ඇති බවයි එම පුවත් වාර්තා කළේ.

එමෙන්ම නාමපුවරු ගලවා ඉවත් කිරීමෙන් පසු නාම පුවරු නොමැතිව හොර රහසේ සම්බාහන මධ්‍යස්ථාන පවත්වාගෙන යන්නේ ද යන්න පිළිබඳ සොයා බලන ලෙස මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පොලිස් බුද්ධි අංශ වෙත දැනුම් දී තිබෙන බවත් එම පුවත්පත වාර්තා කළා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!