ළඟ දී ම පාසල් වර්ගීකරණයේ වෙනසක්

මෙරට අධ්‍යාපන පද්ධතියේ පරිවර්තනීය වෙනස, අධ්‍යාපන පරිපාලන ක්ෂේත්‍රයේ වෙනස්කම් සිදු කරමින් එළඹෙන මාසයේ සිට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවා.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ 2018-2020 අධ්‍යයන වර්ෂයේ ජාතික ශික්‍ෂණ විද්‍යා ඩිප්ලෝමා පුහුණුව නිම කළ ඩිප්ලෝමාධාරීන් ගුරු සේවයේ 3-1 (ආ) ශ්‍රේණියට බඳවා ගැනීම වෙනුවෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ පැවැති උත්සව අවස්ථාවට එක්වෙමින්.

අධ්‍යාපන පරිපාලනයේ සිදුකිරීමට අපේක්ෂිත වෙනස්කම් සමග දැනට පවත්නා පාසල් වර්ගීකරණය වෙනස්වන බව ද, ඒ අනුව ඉදිරියේ දී 1-5 පන්ති පැවැත්වෙන පාසල් ප්‍රාථමික පාසල් ලෙසත්, 6-10 ශ්‍රේණි සහිත පාසල් කණිෂ්ඨ ද්විතීයික පාසල් ලෙසත් 10-13 පන්ති සහිත පාසල් ජ්‍යෙෂ්ඨ ද්විතීයික පාසල් ලෙසත් වර්ග කරන බව අමාත්‍යවරයා එහි දී ප්‍රකාශ කළා.

පාසල් සඳහා විදුහල්පතිවරුන් පත් කිරීම, ගුරු ස්ථාන මාරු සිදුකිරීම ඇතුළු පාසල් පද්ධතියේ පරිපාලන තීන්දු තීරණ ගැනීමට මෙම වර්ගීකරණය අනුව වඩාත් පහසු වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මේ සියලු‍ උත්සාහයන් තුළින් අපේක්ෂා කරන්නේ කලක් තිස්සේ අධ්‍යාපන පද්ධතියෙහි පීලි පැන තිබූ තැන් නිවැරදි කරමින් එක් පොදු ගමන් මගකට යොමු කිරීම බවයි පැවසුවේ.

එමෙන් ම පාසල් සිසුන්ට පෝෂදායී ආහාර වේලක් ලබා දීමේ අරමුණින් 1-5ශ්‍රේණිවල දරුවන් වෙනුවෙන් ආහාර වේලක් පාසලේ දී ලබාදීමේ වැඩපිළිවෙල මේ වන විට ක්‍රියාවට නංවා ඇති බවත්, එම කාර්ය සාර්ථක කරගැනීම සඳහා විශාල පරිශ්‍රමයක් දැරීමට සිදු වූ බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

වත්මන් සමාජ අර්බුද සහ සමාජ මාධ්‍ය මූලිකව සිදුවන යම් යම් බලපෑම් හමුවේ දරුවන් සම්බන්ධයෙන් පාසල තුළ වැඩි වගකීම් දැරීමට ගුරුවරුන්ට සිදුවන බවත්, එබැවින් ඉගැන්වීමට අමතරව දරුවන් සම්බන්ධයෙන් වගකීම්සහගතව කටයුතු කිරීමට සියලු‍ ගුරුවරුන්ට සිදුවන බවත් අමාත්‍යවරයා ගුරුවරුන්ට දැනුම් දුන්නා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!