අදත් බැසිල් – රනිල් හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් අද (21) පස්වරුවේ පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරනවා.

එළඹෙන ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය ඇතුළු ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව එහි දී සාකච්ඡා කිරීමට නියමිත ඇති බවයි එම ආරංචි මාර්ග පවසන්නේ.

මේ අතර ඊයේ (20) බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ දී, බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ද පැවැත් වුණා.

එහි දී ද ඉදිරි මැතිවරණ හා මැයි දින රැලිය සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා තිබෙන බවයි වාර්තා වන්නේ.

කෙසේ නමුත් එම රැස්වීමේ දී සාකච්ඡා වූ කරුණු සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පැවැත්වීමට ද අද දිනයේ බැසිල් රාජපක්ෂ මහතා කටයුතු කරනු ඇති අතර, ජනාධිපතිවරයා සමග සාකච්ඡාව ඉන් අනතුරුව සිදුවනු ඇති බවටයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.

මේ අතර ඉකුත් සතියේ ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ, බැසිල් රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් අතර හමුවක් පැවැත් වුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!