මහ රෑ ගණේමුල්ලේ දී STF වෙඩි හුවමාරුවක් – අපරාධකරුවෙක් මරුට

ඊයේ (20) රාත්‍රියේ ගණේමුල්ල ප්‍රදේශයේ සිදුවු වෙඩි තැබීමකින් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිස් විශේෂ කාර්යය බළකා ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත, ඊයේ රාත්‍රී ගණේමුල්ල සුමේධ මාවත ප්‍රදේශයේ, නිවසක් වටලා පරීක්ෂාවක් සිදුකර ඇති අතර එම අවස්ථාවේ සැකකරු විසින් විශේෂ කාර්යය බළකා සාමාජිකයින් වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග දෙපාර්ශවය අතර වෙඩි හුවමාරුවක් සිදුව තිබෙනවා.

එම වෙඩි හුවමාරුවෙන් සැකකරු සහ විශේෂ කාර්යය බළකා නිලධාරියෙකු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර, සැකකරු මියගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ ඉකුත් 09 වන දින ජා-ඇළ, දඬුගම බස්වත්ත ප්‍රදේශයේ සිදුවු වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු බව වාර්තා වන අතර ඔහු ඇහැළියගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි, හමුදා සේවයෙන් පළා ආ 28 හැවිරිදි අයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් ගණේමුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!