ජන අරගල ව්‍යාපාරයට ආ 29ක් අත්අඩංගුවට

ජන අරගල ව්‍යාපාරය අද (20) කොළඹ දී පැවැත්වූ විරෝධතාව අතරතුරදී පුද්ගලයින් 29 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

අත්අඩංගුවට ගත් පිරිස අතර භික්ෂූන් වහන්සේලා දෙදෙනෙක් සහ කාන්තාවන් තුන් දෙනෙක් ද වන බවයි සඳහන් වන්නේ.

එම පිරිස අතරට යූත් ෆෝ චේන්ජ් සංවිධානයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව ද වන බවයි වාර්තා වන්නේ.

භාණ්ඩ මිල ඉහළ යාම, විදෙස් ගිවිසුම් ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගෙන මෙම විරෝධතාව කොටුව දුම්රිය ස්ථානය අසලින් ආරම්භ කර තිබුණා.

පසුව විරෝධතාකරුවන් පිටකොටුව දෙසට ගමන් කිරීමත්, සමග පොලීසිය පිරිස විසුරුවාහැරීම සඳහා අධිපීඩන ජල ප්‍රහාර හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට ද කටයුතු කළ අතර එහි දී පොලිස් නිලධාරීන් 5 දෙනෙක් තුවාල ලබා තිබෙන බවත් වාර්තා වනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!