සචිත්‍රගේ කටහඬ වාර්තාව ප්‍රමාදයි – යන්ත්‍රයත් කැඩිලා

මුදලට ක්‍රිකට් තරග පාවාදීමේ සිද්ධියක සැකකරු ලෙස චෝදනා එල්ලව සිටින හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකගේ පරීක්ෂණවලට අදාළ කටහඬ පරීක්ෂණ වාර්තාව මෙතෙක් ලැබී නොමැති බව ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ අංශය අද (17) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඒ බව දැනුම් දී ඇත්තේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ ඊට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

සැකකරුගේ කටහඬ පරීක්ෂණය සිදුකර තිබුණත් එම පරීක්ෂාව සිදුකරන යන්ත්‍රය කැඩී තිබීම නිසා ඊට අදාළ වාර්තාව මෙතෙක් ලැබී නොමැති බව ක්‍රීඩා දුෂණ වැළැක්වීමේ අංශයේ නිලධාරීන් සඳහන් කළා.

එම අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම කටහඬ පරීක්ෂණය මීට වසරකට පමණ ඉහතදී සිදුකළ ද එහි වාර්තාව මෙතෙක් නොලැබීම තුළින් තම සේවාදායකයාට අසාධාරණයක් සිදුවන බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම කටහඬ පරීක්ෂණයට අදාළ වාර්තාව කඩිනමින් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස දන්වා රජයේ රස පරීක්ෂකවරයා වෙත සිහි කැඳවීමක් යොමු කිරීමට නියම කළා.

2019 වසරේ පැවැත්වුණු එල්පීඑල් ක්‍රිකට් තරගාවලියේදී තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුට ගත් හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක මේ වනවිට අධිකරණය විසින් ඇප මත මුදාහැර සිටිනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!