දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ මරණය ගැන බිරිඳ කියන කතාව

හදිසියේ ඇති වූ හෘදයාබාධයකින් සැමියා මිය ගොස් ඇති බව වෛද්‍යවරුන්ගෙන් දැනගන්නට ලැබුණු බවත් සිය සැමියාගේ මරණය සම්බන්ධයෙන් කිසිදු සැකයක් නැති බවත් අභාවප්‍රාප්ත වූ හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව්.බණ්ඩාර මහතාගේ බිරිඳ අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ පවසා තිබෙනවා.

දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතාගේ මරණය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙරේදා (15) පැවැති සාක්ෂි විභාගයේදී ඒ මහතාගේ බිරිඳ මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

උතුරු දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කටයුතු සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීම සඳහා අනුරාධපුරයට ගොස් සිටි
සිය සැමියා හදිසියේ මියගොස් ඇති බව දැනගන්නට ලැබුණු පසුව තමා අනුරාධපුරයට පැමිණ මහේස්ත්‍රාත්තුමා ඉදිරියේ සැමියාගේ මෘත දේහය හඳුනාගෙන භාරගත් බව ඇය එහිදී ප්‍රකාශ කළ බව සඳහන් වනවා.

අනුරාධපුර මූලස්ථාන පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයාගේ මෙහෙයවීම මත තවදුරටත් සාකෂි ලබාදෙමින් බේස්ලයින් පාර, දෙමටගොඩ ලිපිනයේ පදිංචි මියගිය දුම්රිය සාමාන්‍යධිකාරීවරයාගේ බිරිඳ මෙසේ ප්‍රකාශ කර තිබෙනවා.

දුම්රිය සාමාන්‍යධිකාරී ලෙස කටයුතු කළ මාගේ සැමියා වන එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතා පෙණහලු ආශ්‍රිත රෝගී
තත්ත්වයකට ප්‍රතිකාර ගනිමින් සිටියා. එම රෝගී තත්ත්වය හේතුවෙන් ­ශල්‍යකර්මවලට භාජන වුණේ නැහැ. උතුරු දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට පසුගිය දින මහාමාර්ග අමාත්‍යතුමා නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. ඊට සහභාගි වීම සඳහා මාගේ සැමියා ද අනුරාධපුරයට පැමිණියා
.

එසේ පැමිණි දිනට පසු දින උදෑසන හදිසියේ මගේ සැමියා මියගොස් ඇති බව දැනගන්නට ලැබුණා. පසුව මා අනුරාධපුරයට
පැමිණියා. එලෙස පැමිණ මහේස්ත්‍රාත්තුමා ඉදිරියේ සැමියාගේ මළ සිරුර හඳුනා ගත්තා. හදිසියේ ඇති වූ හෘදයාබාධයකින් සැමියා මිය ගොස් ඇති බව වෛද්‍යවරුන්ගෙන් දැන ගන්නට ලැබුණා. සැමි­යාගේ මරණය සම්බන්ධයෙන් කිසිදු සැකයක් නැහැ
.“

හිටපු දුම්රිය සාමාන්‍යධිකාරීවරයායේ මිය යෑමට අදාළ මරණ පරීක්ෂණයේ වැඩිදුර සාකෂි ඉදිරියේදී කැඳවීමට පියවර ගන්නා ලෙසට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර මූලස්ථාන පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයාට නියෝග කර ඇති බව වැඩිදුරටත් සඳහන් වනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!