ඉන්දියාව ගැන කියද්දී ‘ලංකාවේ පොලීසියට’ කිති කැවෙන්නේ ඇයි

ඉන්දියානු මැදිහත්වීම් ගැන කියද්දී ලංකාවේ පොලීසියට කිති කැවෙන්නේ ඇයිද යන්න පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා විමසා සිටිනවා.

නුගේගොඩදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු ප්‍රශ්න කළේ, ලංකාවේ පොලීසිය ඉන්දියාවේ ප්‍රාන්ත පොලීසියක්ද? ලංකාව ඉන්දියාවේ කොටසක් කියලා හරීන් ප්‍රනාන්දු කියපු විදියටද පොලීසිය වැඩ කරන්නේ? යනුවෙනුයි.

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආර්ථික ඝාතක සහ ජන පීඩක කොන්දේසි වලට එරෙහිවත්, ඉන්දියාව සිදු කරන ආර්ථික – දේශපාලන බලහත්කාරයට එරෙහිවත්, ආර්ථික අර්බුදයේ මුළු බර ජනතාව මත පටවා ධනවතුන් නිදහස් කිරීමට එරෙහිවත් මාර්තු 20 ජන අරගල ව්‍යාපාරය කොළඹ උද්ඝෝෂණයක් පැවැත්වුවා.

උද්ඝෝෂණයට දේශපාලන පක්ෂ, බහුජන සංවිධාන, සමාජ ක්‍රියාකාරීන් ඇතුළු පාර්ශව ගණනාවක් සහභාගී වුණා. පොලීසිය ම්ලේච්ඡ ලෙස පහර දුන්නේ එම උද්ඝෝෂණයට. එයට පහර දී උද්ඝෝෂකයන් 33 දෙනෙකු අත්අඩංගුවට ගත්තා. ඒ අයගෙන් 5 දෙනෙකු පොලීසියට පහර දුන්නා කියා අභූත චෝදනා නගමින් හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට යොමු කරලා තියෙනවා.

ඒ පෙරෙට්ටුව අදට නියමිතව තියෙද්දීත් පොලීසියේ දෙදෙනෙක් නොපැමිණීම නිසා ඔවුන් 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ වගේම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව සහෝදරයා, යූත් ෆෝ චේන්ජ් සංවිධානයේ ලහිරු වීරසේකර සහෝදරයා ඇතුළු සිව් දෙනෙක් රක්ෂිත බන්ධනාගාර ගත කළා. ඉතිරි අයට ඇප ලබා දෙද්දී මේ අයට නොදුන්නේ ඇයි? ඒක පිටුපස පොලීසියේ කුමන්ත්‍රණයක් තියෙන්නේ.

ඇප ලබා දිය නොහැකි චෝදනා කිසිවක් මේ අයට නැහැ. පොදු දේපල වලට අනර්ථයක් කිරීමේ චෝදනා නැහැ. මේ උද්ඝෝෂණය කළේ වරාය, ගුවන් තොටුපල, ඉන්ධන පිරවුම්හල්, විදුලි බලාගාර වගේ පොදු දේපල ඉන්දියාවට විකුණා දැමීමට එරෙහිව. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සේවය වැනි පොදු දේපල ආරක්ෂා කර ගැනීමට. ඒ වගේම මේ අයට අධිකරණ නියෝග කඩ කිරීමේ චෝදනාවක් නැහැ. මේ උද්ඝෝෂණයට එරෙහි අධිකරණ නියෝගයක් නැහැ. උද්ඝෝෂණය කිරීම ජනතාවගේ අයිතියක්. සමහර අයට එල්ල කර තිබෙන්නේ පොලීසියට පහර දීමේ චෝදනාව.

පොලීසියට පහර දුන් අය, පුටු වලින් පහර දුන් අය, මිරිස් කුඩු ගැසූ අය පාර්ලිමේන්තුවේ සහ කැබිනට් මණ්ඩලයේ ඉන්නවා. ඒ අයව අත්අඩංගුවට ගන්න.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි නිසා ආර්ථිකය විනාශ වෙනවා. ජනතාව කබලෙන් ලිපට වැටෙනවා. අර්බුදය අතරේ ඉන්දියාව තමන්ගේ දේශපාලන -ආර්ථික – මිලිටරි අභිලාෂයන් වෙනුවෙන් ලංකාව යටත්විජිතයක් කර ගන්න උත්සාහ කරනවා. ආණ්ඩුව ඒවා ඉදිරියේ දන නමන අතර ඒවාට එරෙහි උද්ඝෝෂණ වලට පහර දෙනවා. මේ ආණ්ඩුව IMF එකේ නියෝජිතායතනයක් වගේ වැඩ කරන්නේ. ආණ්ඩුව නියෝජනය කරන්නේ තමන්ට ඡන්දය දුන් ජනතාවද, අධිරාජ්‍යවාදී මූල්‍ය සංවිධානද කියන එක තේරුම් ගන්න මේ සිදුවීම පමණක් වුවත් ප්‍රමාණවත්.

ඒ වගේම ඉන්දියානු මැදිහත්වීම් ගැන කියද්දී ලංකාවේ පොලීසියට කිති කැවෙන්නේ ඇයි? ලංකාවේ පොලීසිය ඉන්දියාවේ ප්‍රාන්ත පොලීසියක්ද? ලංකාව ඉන්දියාවේ කොටසක් කියලා හරීන් ප්‍රනාන්දු කියපු විදියටද පොලීසිය වැඩ කරන්නේ? ලංකාවේ දේශපාලන ස්වාධීනත්වයේ තරම ගැන තේරුම් ගන්න මේවා පාඩමකට ගන්න පුළුවන්. ආණ්ඩුව IMF එක සහ ඉන්දියාව වෙනුවෙන් වැඩ කරද්දී විපක්ෂය මොකද කරන්නේ? විපක්ෂයේ පක්ෂ වන සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය මේ ප්‍රශ්න ගැන කට අරින්නේ නැහැ. IMF ගැන වගේම ඉන්දියාව ගැනත් විපක්ෂයේ කටේ පිට්ටු. සමගි ජන බලවේගය කියන්නේ IMF එකට කලින් යන්න තිබුණා කියලා.

ජාතික ජන බලවේගය කියන්නේ IMF වැඩසටහනෙන් ඉවත් වෙන එක මනෝරාජිකයි, ඒ ගොල්ලෝ ආවත් කරන්නේ ඒක කියලා. ඉන්දියාවේ ආධිපත්‍යවාදී මැදිහත්වීම ගැන අපි කියද්දී ඉන්දියාව බේරා ගන්න කරුණු කියන තොල්කයෝ බවට පත්වෙලා ඉන්නේ විපක්ෂයේ පක්ෂ. මේ විපක්ෂය ආණ්ඩුවේ ජජතා විරෝධී වැඩපිළිවෙලට නිහඬතාවයෙන් සහය දෙන අතර IMF සහ ඉන්දියානු උපායමාර්ගික වැඩපිළිවෙල ආරක්ෂා කරනවා. ඒ අතර මැතිවරණයේදී ඡන්ද ගොඩ වැඩි කර ගන්න බලාගෙන ආණ්ඩුවට පොඩි පොඩි තාක්ෂණික විවේචන කරනවා.

ජන අරගල ව්‍යාපාරයේ උද්ඝෝෂණයට පහර දීම ගැන වචනයක්වත් නොකියා පාර්ලිමේන්තුවේ විපක්ෂය කරමින් ඉන්නේ කතානායකගේ විශ්වාස භංගය වගේ ඒවාට දුවන එක. IMF සහ ඉන්දියානු මැදිහත්වීමට එරෙහි සටන තියෙන්නේ පාර්ලිමේන්තුවෙන් එළියේ. පාර්ලිමේන්තුවේ ඇතුලේ අඩුම ගානේ ඒ සටනට එරෙහි මර්දනයට විරෝධයක්වත් නැහැ. ඒ නිසා බලය හදන්න ඕන පාර්ලිමේන්තුවෙන් එළියේ. ඒ එළියේ බලයේ නියෝජනයක් පාර්ලිමේන්තුව ඇතුලේ ශක්තිමත් කරන්න ඕන. මේ පාර්ලිමේන්තුවේ පක්ෂවල කුට්ටම ආයේ ඇනුවට වැඩක් නෑ. අරගලය අලුත් කරමු, මහජන ව්‍යාපාරය ගොඩ නගමු. ” යනුවෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා කියා සිටියා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!