විශ්ව විද්‍යාලයේ පිරිසිදු කිරීම් සහායකයෙක් තානාපති පුටුවකට

තානාපති සේවය සදහා වෘත්තීය ශ්‍රී ලංකා විදේශ සේවයේ නිලධාරීන් පත් කරන බවට ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් සහතික කර තිබියදී එය නොතකා හරිමින් දේශපාලන පත් කිරීම් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති අතර එසේ පත්වීම් ලබාදෙන තානාපති නිලධාරීන් අතර ද්විත්ව පුරවැසියන් සිටින බවද අනාවරණය වේ.

මෙසේ පත්වීම් ලැබීමට නියමිත එක් තානාපතිවරයෙක් ඔස්ටේ්‍රලියානු පුරවැසිභාවය ලබා තිබෙන බවද විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචිමාර්ග සදහන් කරයි.

තවත් රටක තානාපතිවරයෙක් ලෙස පත් කිරීමට නියමිතව ඇත්තේ එම රටේ උසස් අධ්‍යාපනය ලබමින් සිටින අයෙක්ය. එම පුද්ගලයා විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටින අතරවාරයේ එම විශ්ව විද්‍යාලයේ පිරිසිදු කිරීම් සහායකයෙක් ලෙස අර්ධකාලීන් රැකියාවක නිරතව සිටී. ඔහුගේ බිරිදද එම විශ්ව විද්‍යාලයේ පිරිසිදු කිරීම් අංශයේ රැකියාවක් කරමින් සිටින බවද අනාවරණය වේ.

තානාපතිවරයෙක් ලෙස පත්වීමට ලැබීමට නියමිත මෙම පුද්ගලයා පරිපාලන සේවයේ කණිෂ්ට නිලධාරියෙක් බවද, එවැනි අයෙක් ලෝකයේ ප්‍රධාන රටක තානාපතිවරයෙක් බවට පත්වීමට තරම් අත්දැකීම් නොමැති බවත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

මේ අතර ලෝකයේ ප්‍රභල රටකින් සහ අසල්වැසි ප්‍රභල රටකින් ප්‍රතිලාභ ලබන පුද්ගලයෙක් කලාපයේ ප්‍රධාන රටක තානපතිතනතුරකට දේශපාලන පත් කිරීමක් ලෙස කිරීමට සූදානමින් සිටින බවද අනාවරණය වේ. මෙසේ පත් කිරීමට යන පුද්ගලයා මීට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නොමග යවමින් අදාල රටවලට වාසිදායක ගිවිසුම් අත්සන් කිරීමට, ජනාධිපතිවරයා පෙළඹවීමට කටයුතු කර ඇති අයෙක් බවද අනාවරණය වේ.

මෙම දේශපාලන පත්වීම් පිළිබද සාකච්ඡා කිරීම සදහා ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්ගෙන් සාකච්ඡාවක් ඉල්ලීමට ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය කටයතු කර ඇතත් මේ වන තෙක් ඒ සදහා අවස්ථාවක් ලබාදී නොමැති බවත් වැඩිදුරටත් අනාවරණය වේ.