වෟෂණ කෝෂයක් ඉවත් කිරීමේ නඩුව රහස් පොලිසියට

රථවාහන පරීක්ෂාවකදී 23 හැවිරිදි තරුණයකුට තදබල ලෙස පහරදී බරපතළ තුවාල සිදු කර ඔහු ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනකුට එරෙහිව කැබිතිගොල්ලෑව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟින් සිදු කෙරෙමින් පවතින සියලු විමර්ශන කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලෙස මැදවච්චිය මහේස්ත්‍රාත් ඉමේෂා ධර්මදාස මෙනෙවිය පොලිස්පතිවරයාට නියෝග කළා.

මෙම සිද්ධියේදී මැදවච්චිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර ඊට අදාළ සම්පූර්ණ වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය උතුරු මැද දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝග කරනු ලැබුවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් කර සිටින පොලිස් සැරයන්වරයා සහ කොස්තාපල්වරයා තවදුරටත් මේ මස 24 වැනි දින දක්වා රිමාන්ඩ් කරන ලෙසට ද නියෝග කළ මහේස්ත්‍රාත්වරිය එදිනට සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා සූදානම් කරන ලෙසට ද අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළා.

මෙසේ නියෝග කළේ මෙම සිද්ධියට අදාළ නඩුව ඊයේ (16) මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

මෙහිදී නිරීක්ෂණ පාර්ශ්වයක් ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කෞශල්‍ය නවරත්න මහතා ඇතුළු විශේෂ නීතිඥ කණ්ඩායමක් අධිකරණය හමුවේ පෙනී සිටීම විශේෂයෙන් කැපී පෙනුණා .

සැකකාර පොලිස් නිලධාරීන්ගේ පහර කෑමට ලක් වූ රථ රියැදුරා වන විසිතුන් හැවිරිදි දිලීෂ සංගීත් මේ වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ශල්‍යකර්මයකට ලක් කිරීමෙන් අනතුරුව ඔහුගේ වෟෂණ කෝෂයක් ඉවත් කර තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!