හොර වෛද්‍යවරුන් අල්ලන අලුත් පොලිස් මෙහෙයුම

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ (Government Medical Officers Association – GMOA) සභාපති විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන මහතා, රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ඇතුළු වෛද්‍යවරුන් පිරිසක් අද (3) පොලිස් මූලස්ථානයේදී පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන නිලන්ත ජයවර්ධන මහතා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහයක සේවා රන්මල් කොඩිතුවක්කු මහතා, නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පොලිස් මුලස්ථානයේදී සහ දිවයින පුරා කොට්ඨාස භාර නිළධාරීන් පිරිසක් මාර්ගගත ක්‍රමවේදය (Online) හරහා එම සාකච්ඡාවට එක්වුණා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් වෛද්‍යවරුන් මුහුණුපාන ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය අවධානය යොමු කර තිබෙනවා .

එහිදී විශේෂයෙන්ම, රජයේ වෛද්‍ය නිළධාරී සංගමය විසින් වෛද්‍යවරුන් වෙත නිකුත් කර ඇති නිල ලාංජනය සහිත ස්ටීකරය වාහනවල තබාගනිමින් එය අවභාවිතා කර ඇතැම් නීති විරෝධි ක්‍රියාකාරකම්වල නිරත වන පුද්ගලයින් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම, මහාමාර්ගයේ ව්‍යාජ සහතික ඉදිරිපත් කරමින් වෛද්‍යවරුන් ලෙස පෙනීසිටින පුද්ගලයින් සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග ගැනීම, නිසි ප්‍රමිතියකින් තොර ඖෂධ, සුවද විලවුන් ඇතුළු විවිධ රූපලාවන්‍ය ආලේපන වර්ග ආදිය වෙළදාම් කිරීම සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග ගැනීම, දිවයිනේ විවිධ පළාත් වල පිහිටි රෝහල් වල වෛද්‍යවරුන්ට පහරදීමේ සිද්ධීන් ඇතුළු විමර්ශන කිහිපයක් සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සහ මහාමාර්ගයේ දෛනිකව සිදුවන රිය අනතුරු අවම කර ගැනීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය හා ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම ඇතුළු කරණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.

මෙම සාකච්ඡාවේදී පොලිස්පතිවරයා වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කරමින් 2007 අංක 54 දරණ ඖෂධ වලට ඇබ්බැහිවූ තැනැත්තන් (ප්‍රතිකාර සහ පුනරුත්තාපන) පිළිබද සංශෝධන පනතේ ප්‍රතිපාදන අනුව කටයුතු කිරීමේදී ශ්‍රී ලංකා පොලිසිය මුහුණපාන ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.

එමෙන්ම පොලිස්පතිවරයා විසින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කරන ලද ගැටළු සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව අදාළ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

එහිදි විශේෂයෙන්ම ව්‍යාජ සහතික ඉදිරිපත් කර වෛද්‍යවරුන් ලෙස පෙනී සිටිමින් වෛද්‍ය මධ්‍යස්ථාන පවත්වාගෙන යන පුද්ගලයින්ට සහ වෛද්‍යවරුන් ලෙස පෙනී සිටිමින් ඇතැම් නීති විරෝධි ක්‍රියාකාරකම්වල යෙදී සිටින තැනැත්තන්ට ඉදිරියේදී අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගැනීමට ද සැලසුම් කර ඇති බව පොලිස් ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!