රට ආපස්සට අදින්න ‘ට්‍රැක් පැන්න’ පිරිසක් උත්සාහ කරනවා – ඇමති මනූෂ

පැරණි ජාතිවාදය සහ බෙදීම් පසෙකින් තබා තරුණයන්ට උවමනා කරන, ඩිජිටල් ලෝකයට ගැළපෙන ස්මාර්ට් දැනුම ලබා දී රට ඉදිරියට ගෙන යෑම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවශ්‍යතාව බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අද (03) පුදුකුඩියිරිප්පු මහජන ක්‍රීඩාංගණයේදී ආරම්භ කෙරුණු ‘ජයගමු ශ්‍රී ලංකා’ දෙදින වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක් වෙමින් ප්‍රකාශ කළා.

එමෙන්ම ශ්‍රී ලාංකික ඩයස්පෝරාවට ශ්‍රී ලංකාවේ ආයෝජන සිදු කිරීමට ජනාධිපතිවරයා අවශ්‍ය ශක්තිය ලබා දෙන බවත් ඒ මහතා පැවසුවා.

ජනාධිපතිවරයා රට හරි ‘ට්‍රැක්’ එකට දමා, රට හරි මග ගෙනයන විට ජාතිවාදය ඇතුළු විවිධ දේ කතා කරමින් රට ආපස්සට ඇදීමට ‘ට්‍රැක් පැන්න’ පිරිසක් උත්සාහ කරමින් සිටින බවත් උතුරු පළාත දියුණු කිරීමේදී අකුල් නොහෙළන ලෙස දකුණේ දේශපාලනඥයින්ට මතක් කරන බවත් අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළා.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ,

අපි ගාල්ල, අනුරාධපුරය, මන්නාරම, යාපනය, මුලතිව්වලට ගියත් මේ ශාලාවේ විශාලත්වය වෙනස් නොකර මේ වැඩසටහන කරන්නේ. එන නියෝජිතයන්, සම්පත් වෙනස් කරන්නේ නෑ. නමුත්, මේ ප්‍රදේශයේ ජනගහනය අඩු වීම, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිව වගේම එසේ නැතිව පවා ජනතාව විදේශගත වෙලා ඉන්න නිසාත් මේ ශාලාවේ ජනතාව අපට පෙනෙන්නේ අඩුවෙන්. මම මගේ දේශපාලන කටයුතු කරන්නේ ගාල්ලේ. මගේ උපන්ගම ගාල්ල. මගේ ගමේ සිංහල සහ මුස්ලිම් ජනතාවයි වැඩියෙන් ඉන්නේ. දෙමළ ජනතාව ඉන්නේ බොහෝම අඩුවෙන්. එහෙම වෙලා මම කම්කරු ඇමතිවරයා විදිහට අද දවස වෙන තෙක් පැමිණීමට මගේ දේශපාලනය පටන් ගත්තේ වතුකරයේ කම්කරු ජනතාවත් එක්ක. ඒ හිතවත්කම්, බැඳීම් අපට කොහොමවත් අමතක කරන්න බෑ.

අපේ බැදීම්, හිතවත්කම් ජාතීන් විදිහට පරණයි. ශ්‍රී ලාංකික ජාතිය කියන්නේ අපේ රට අවුරුදු 42ක් පාලනය කරපු එළාර රජතුමාට එතුමගෙ මරණයෙන් පස්සෙ සෑයක් හැදුව ජාතියක්. පෘතුගීසීන් අපේ රට යටත් කර ගන්නකල් උතුරු මැද සමහර පළාත් පාලනය කළෙත් දෙමළ වන්නියාර්වරුන්. ඒ කාලේ සිංහල මිනිස්සු දෙමළ කතා කළා, දෙමළ මිනිස්සු සිංහල කතා කළා. මාතර කඩ යාපනේ තිබුණා. යාපනේ කඩ ගාල්ලේ තිබුනා. අදටත් තියෙනවා. යාපනේ අපේ මුදලාලිලා තවමත් ගාල්ලේ ඉන්නවා අපිත් එක්ක බොහොම සමීපව කටයුතු කරන. අපි ඉතිහාසයේ කලාප වශයෙන් වෙන් කරගෙන තිබුණේ නෑ. හැබැයි අපිව එක් එක් කලාප විදිහට බෙදලා පාලනය කළා. ඉංග්‍රීසින් මේ රටට එනකොට නායක්කාර් වංශික රජ කෙනෙක් මේ රටේ හිටියේ. මම මනූෂ නානායක්කාර.

අද අපි මුලතිව්වලට ආවම ජාතික ගීය ගායනා කළේ දෙමළෙන්. අපි දෙමළ භාෂාව වැඩියෙන් කතා කරන පළාත්වලට ආවම ඒ තීන්දුව බය නැතුව ගන්නවා. මොකද, ඒකට විරුද්ධ වෙන්න සිංහල සමාජයටවත් පුළුවන්කමක් නෑ, අපේ තියෙන ඓතිහාසික සම්බන්ධතාවය නිසාම. දෙමළ භාෂාව කතා කරන අයට ජාතික ගීය දෙමළ භාෂාවෙන් අහන්න, ගයන්න, හැඟීම ඇති වෙන්න අයිතිය තිබිය යුතුයි. ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගයන්න තීන්දුව ගත්තේ කවුද දන්නවාද? ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගයන්න බය නැතුව තීන්දුව ගත්තේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වෙලා ඉද්දියි. පවුලක වුණත් පොඩි පොඩි ප්‍රශ්න වෙනවා. හැබැයි අපේ බැඳීම් ශක්තිමත් කරගන්න අඩදබර නැති කරගෙන ඉස්සරහට යන්න ඕන නිසා තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒ තීන්දුව ගත්තේ. අපේ සංස්කෘතියේ හොඳ ලක්ෂණයක් තියෙනවා නෑදෑ ගෙදරක යනකොට හිස් අතින් යන්නේ නෑ. අපිත් අඩුපාඩු නොකර මුලතිව් සහෝදරයෝ බලන්න ආවේ අනාගතය වෙනුවෙන් ආයෝජනය කරන්න පුළුවන් මහත් දේවල්, ස්වයං රැකියා කරන්න පුළුවන් දේවල්, දරුවන්ට දිය යුතු දේවල් යනාදී නොයෙක් දේවල් බරට අරගෙනයි.


රනිල් වික්‍රමසිංහ මතිතුමා ඉන්නේ ක්ලියර් පාරක. පැහැදිලි දක්මක. ඒ මේ රට සංවර්ධනය කරන්න – මේ රට දියුණු කරන්න පුළුවන් ජාති, ආගම්, කුල, මල භේදවලින් තොරව අපි හැමෝම එකතු වුණොත් විතරයි කියන මතයේ. එතුමා මැයි දිනයෙදිත් සපථ කරලා කිව්වා මේ ගමනට අත්වැල් බැඳගන්න කියලා. 1948 සුද්දගෙන් නිදහස ගන්න සිංහල, දෙමළ, මුස්ලිම් එකතු වෙලා සටන් කරලා – නිදහස ලැබුණට පස්සේ අපි ආයෙත් බෙදුණා. දේශපාලනිකව තිබුණු අරමුණු නිසා අපිව බෙදුවා. දෙපැත්තෙම දේශපාලනඥයෝ දේශපාලන අරමුණු වෙනුවෙන් උතුරත් දකුණත් හැටියට බෙදලා අපේ රටේ සාමය නැති කළා. ඒ පරණ ජාතිවාදය, ජාතිකවාදය, ඒ බෙදීම් පැත්තකින් තියලා අලුත් තරුණයන්ට ඕන, ඩිජිටල් ලෝකයට ගැලපෙන ස්මාට් දැනුම දීලා ස්මාට් වැඩ්ඩන් හැටියට ඉදිරියට යෑමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඕන කරන්නේ.

මේ ප්‍රදේශයේ ජනතාවට තමන්ගේ ඉඩම් කඩම්වල අයිතිය ගැන බරපතල ප්‍රශ්නයක් තිබුණා, යුද්ධය අවසන් වෙලා, ත්‍රිවිධ හමුදාව ඇවිත් ජනතාව බේරගෙන, ආරක්ෂා කරගෙන ඉද්දි. මේ වෙද්දි හමුදාවට සාමය ආරක්ෂා කිරීමට අවශ්‍ය ඉඩම් ටික විතරක් තබාගෙන බහුතරයක් ඉඩම් නිදහස් කරන්න ජනාධිපතිතුමා ඉදීරියේදීත් කටයුතු කරනවා.
අතුරුදහන්වූවන්ගේ ලේකම් කාර්යාල හදලා, ඉඩම් අයිතිය ලබා දීලා අනාගතයේදී මේ වගේ දෙයක් නොවෙන්න ව්‍යවස්ථාමය වෙනසක් සිදු කිරීමත් අලුත් ව්‍යවස්ථාවක් හදලා මේ වගේ අර්බුදයක් ඇති නොවෙන්න කටයුතු කිරීමත් තමන්ගේ මූලික අරමුණ බව ජනාධිපතිකම ගන්නත් කලින් රනිල් වික්‍රමසිංහ මැතිතුමා පැවසුවා.

අපි හදනවා ‘ඕවර්සීස් ශ්‍රී ලංකන්’ කියලා වෙනම අංශයක්. විදේශගත ශ්‍රී ලාංකිකකයන් වෙනුවෙන් ‘යුනිට්’ එකක්. ඒ පිළිබඳ පළමු කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ මම. පසුව ජනාධිපතිතුමා තීන්දු කළා, එතුමගේ නායකත්වය යටතේ විදේශ කටයුතු අමාත්‍යාංශය සමග කටයුතු කරන්න. ඒ හරහා අපේ ඩයස්පෝරාවට තමන්ගේ ප්‍රශ්න විසඳගන්න, ගැටලු කතා කරන්න, ඔවුන්ට මෙහි ඇවිත් ආයෝජනය කරන්න ඕන හයිය ලබා දීම වෙනුවෙන් කටයුතු ඉතා හොඳින් ක්‍රියාත්මක වෙනවා. මේ සේරම කරලා, රාජ්‍ය සේවකයන්ගෙත් වැටුප් වැඩි කරලා, තෙල් පෝලිම් නැති කරලා, ගෑස් පෝලිම් නැති කරලා, තෙල් මිල අඩු කරලා, උද්ධමනය අඩු කරලා, බඩු මිල, ඩොලරයට ගෙවන මිල අඩු කරලා රට හරි ට්‍රැක් එකට දාගෙන ජනාධිපතිතුමා රට ඉස්සරහට ගෙනියනවා. එතුමා රට හරි ට්‍රැක් එකට දාගෙන අරන් යනකොට, ජාතිවාදය, වෙන වෙන දේවල් කියමින් ට්‍රැක් පැනපු සෙට් එකක් ආයෙත් රට ට්‍රැක් පන්නලා ආපස්සට අදින්න උත්සාහ කරමින් ඉන්නවා. රටේ සංවර්ධනය ආපස්සට හරවන්න, ජනතාවට ලැබෙන සහන ආපස්සට ගෙනියන්න කටයුතු කරමින් ඉන්නවා. ඒ අයට ඇත්තටම ට්‍රැක් පැනලයි තියෙන්නේ. අපිට ඕන විරැකියාව නැති කරන්න. සංවර්ධනය ඇති කරන්න, අනාගත ආයෝජන ලංකාවට ගේන්න, හැබැයි සමහර අයට ඕන මේක ආපස්සට ගෙනිහිල්ලා තමන්ගේ දේශපාලන බලය රැකගන්න.

මන්නාරමේ ආදම්ගේ පාලම කියන තැන අපි ගිහින් බැලුවා. ඒක රාමා පැමිණි පාලම කියාත් කියනවා. ඒ පැරණි පාලම ඉන්දියාව යළි හදන්නට කල්පනා කරනවා. තලෛමන්නාරමේ බෝට්ටු සේවය නැවත පටන්ගනිමින්, ඉන්දියාව එක්ක අපි මන්නාරමින් පටන්ගෙන වන්නි දිස්ත්‍රික්කය සංවර්ධනය කරන්නයි ජනාධිපතිතුමාගේ සැලැස්ම තියෙන්නේ.
දකුණේ හැටදාහක් මරපු ඉන්දියානු විරෝධය දැන් ටිකක් අඩු වෙලා තියෙනවා. අපි සතුටුයි ඒකට. හැබැයි ඉස්සරහට මේ ගොඩබිම් මාර්ග හදද්දි ඔය ඉන්දීය විරෝධය අරන් එන්න එපා, මේ උතුර දියුණු කරන්න අකුල් හෙළන්න එපා කියලා අපි දකුණේ දේශපාලනඥයින්ට මතක් කරනවා.

ජනාධිපතිතුමාගේ ආරාධනයට කාදර් මස්තාන් මැතිතුමන්ලා ආණ්ඩුවට ඇවිත් වැඩ කරන්නේ තමගේ ජනතාව වෙනුවෙන් වැඩ කරන්නයි. නමුත්, අපේ ආණ්ඩුවට නෑවිත් තමන්ගේ ජනතාවගේ දියුණුවට අකුල් නොහෙළීම ගැන අපි විනෝ මන්ත්‍රීතුමාට සතුති කරනවා. ඩොලර් බිලියන 10.3ක් එවලා රටේ ප්‍රශ්න විසඳන්න කටයුතු කළ විදේශගත ශ්‍රමිකයින් මෙතන ඉන්න අයටත්, මෙතනට නාවත් මේ රටට කැනඩාවේ එංගලන්තයේ ඉඳලා ඩොලර් එවලා සහාය දුන් සියලුම ශ්‍රී ලාංකිකයින්ට මම මගේ ස්තුතිය පුද කරනවා. මේ වැඩසටහනේ ආරම්භය ගන්නේ අපේ විදෙස්ගත ශ්‍රමිකයින්ට හරසර පුදලයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!