අරක්කු බද්දෙන් කසිප්පු ඉල්ලුම ඉහළට

මත්පැන් සඳහා පනවා තිබෙන බදු හේතුවෙන් මත්පැන් මිල ගණන් ඉහළ යාම නිසා නීති විරෝධී මත්පැන් සඳහා තිබෙන ඉල්ලුම ඉහළ ගොස් ඇතැයි ජාතික පුවත්පතක් පවසනවා.

මෙලෙස මත්පැන් මිල ගණන් ඉහළ යාම හේතුවෙන් නීත්‍යානුකූල මත්පැන් සඳහා තිබෙන ඉල්ලුම විශාල ලෙස අඩුවී ඇති අතර, මේ හේතුවෙන් සුරාබදු දෙපාර්තමේන්තුවට නිශ්චිත ආදායම් ඉලක්කයන් සපුරාලීමද ගැටලුවක් බවට පත්ව තිබෙන බවයි එම පුවත්පත වාර්තා කරන්නේ.

රජය විසින් මේ වසරට අදාළව සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 232ක ඉලක්කයක් ලබා දී ඇති අතර එම දෙපාර්තමේන්තුව ඉකුත් ජනවාරි සහ පෙබරවාරි යන මාසවලදී උපයා තිබෙන සම්පූර්ණ බදු ආදායම රුපියල් බිලියන 33ක් පමණයි.

මත්පැන් පානය කළ බොහෝ දෙනකු ඒවායෙහි මිල වැඩිවීමත් සමග නීති විරෝධී මත්පැන් භාවිතයට පුරුදුවී ඇති අතර, ඇතැම් පුද්ගලයන් මත්පැන් පානය අතහැර දමා ඇතැයි ද අනාවරණය වන බව ද එම පුවත්පත පවසනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!