මත්පැන් නිෂ්පාදනය 19%කින් පහළට – මුදල් ඇමතිගෙන් වාර්තාවක්

2023 වසර තුළ මෙරට මත්පැන් නිෂ්පාදනය 19%කින් පහළ ගොස් ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වැඩිම අලෙවියක් ඇති මිලිලීටර් 180 මධ්‍යසාර බෝතල් නිෂ්පාදනය පමණක් මිලියන 15 පමණ අඩු වී ඇති බවයි.

2022 වසරේ දී මිලිලීටර් 750 මධ්‍යසාර බෝතල් මිලියන 57.7ක් නිෂ්පාදනය කර ඇති අතර එම සංඛ්‍යාව 2023 වසරේ දී මිලියන 39.5 දක්වා අඩු වී තිබෙනවා.

2022 වසරේ දී මිලියන 46.8ක් නිෂ්පාදනක් සිදු කළ මිලිලීටර් 375 බෝතල් ප්‍රමාණය වෙනුවෙන් 2023 වසරේ දී නිෂ්පාදනය කර ඇත්තේ බෝතල් මිලියන 36.6ක ප්‍රමාණයක් බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

2022 වසරේ දී මිලියන 105.8ක් නිෂ්පාදනය කළ මිලිලීටර් 180 බෝතල් ප්‍රමාණය 2023 වසරේ දී මිලියන 90.5 දක්වා පහත වැටී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නයකයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසුවා.

මේ අතර 2023 වසර තුළ පමණක් අලුතෙන් මධ්‍යසාර බලපත්‍ර 214ක් නිකුත් කර ඇති බවත් ඉන් 147ක් ම සංචාරක කර්මාන්තය වෙනුවෙන් නිකුත් කරනු ලැබූ බවත්, රාබී 7, 8 සහ 11 වර්ගයේ ඒවා බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

එමෙන්ම සුරාබදු දෙපාර්තමේන්තුව මගින් ලබා දී ඇති සමස්ත මධ්‍යසාර බලපත්‍ර ප්‍රමාණය 5730ක් බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

නීත්‍යානුකුල මධ්‍යසාර සුරාසැල් ඇති වීම මගින් මධ්‍යසාර භාවිතය ඉහළ යන බවට මත පළ වුවත් සිදු වන්නේ නීත්‍යානුකූල මධ්‍යසාර නොමැති ප්‍රදේශවල නීති විරෝධී මධ්‍යසාර බහුල ලෙස ප්‍රචලිත වීම බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

එබැවින් සිදු කළ යුත්තේ ඒවාට වැට බැඳීම සහ අහිමි වන බදු ආදායම ලබා ගැනීමට කටයුතු කිරීම බව සියඹලාපිටිය මහතා පවසනවා.

රජය කිසිදු අවස්ථාවක මධ්‍යසාර භාවිතය ප්‍රවර්ධනය නොකරන බව කියා සිටි අමාත්‍යවයා පෙන්වා දුන්නේ මධ්‍යසාර බලපත්‍ර ගාස්තු ද ඉහළ නැංවීමට කටයුතු කර ඇති බවයි.

මධ්‍යසාර බෝතලයක මිලෙන් 75%ක් බදු ලෙස අය කරන අතර වැඩි බදු ප්‍රමාණයක් අය කරන්නේ මධ්‍යසාරවලින් බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!