”LGBTIQ ප්‍රජාවට වෙනස්කොට සළකන්නට බෑ” පොලිසියට අළුත් චක්‍රලේඛයක්

මෙරට LGBTIQ ප්‍රජාව අමානුෂික ලෙස සලකන සහ වෙනස්කම් කරන ආකාරයේ පුහුණු සැසි, දේශන හෝ සම්මන්ත්‍රණ පැවැත්වීම පොලිස් නිලධාරීන්ට තහනම් කරමින් පොලිස්පතිවරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව අභියාචනාධිකරණයට දන්වා ඇත.

ලෙස්බියන්, සමලිංගික, ද්වීලිංගික, සංක්‍රාන්ති ලිංගික, අන්තර් ලිංගික සහ ප්‍රශ්ණ සහගත ප්‍රජාවේ (LGBTIQ) පුද්ගලයන්ට එරෙහිව නිරන්තරයෙන් ඉහළ යන අපයෝජන, හිරිහැර සහ වෙනස් කොට සැලකීම් අභියෝගයට ලක් කරමින් සිවිල් සමාජ ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබූ රිට් පෙත්සම විභාගයට ගත් අවස්තාවේ නීතිපති දෙපාර්තමේන්තුව අභියාචනාධිකරණයට මෙ බව දන්වා සිටියේය .

මෙම පෙත්සම අභියාචනාධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේ අධිකරණය හමුවේ පෙනී සිටි පොලිස්පතිවරයා ශ්‍රී ලංකා පොලිසියේ සියලුම ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන් අමතා චක්‍රලේඛයක් නිකුත් කිරීමට එකඟ වෙමින් නඩුව සමථයකට පත් කළේය. අදාල චක්‍රලේඛය මේවන විට පොලිස්පතිවරයා විසින් නිකුත් කිරීම නිසා නඩුව සමථයකට පත් කිරිමට දෙපාර්ශවය එකඟ විය.

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, මහනුවර පොලිස් ශ්‍රවණාගාරයේ පුහුණු වැඩසටහනක් පැවැත්වූ උපදේශක මනෝ විද්‍යාඥවරියක වන අමා දිසානායක සහ නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන් වග උත්තර කරුවන් කරමින් මෙම නඩුව පවරා තිබුනේ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු ප්‍රමුඛ සමාජ ක්‍රියාකාරිකයන් පිරිසක් විසිනි.

පෙත්සම්කරුවන් පවසනුයේ 2020-2021 දී ඔවුන් විසින් “ශ්‍රී ලංකාවේ LGBTIQ අනන්‍යතා සිතියම්ගත කිරීම” යන මැයෙන් පවත්වන ලද දීපව්‍යාප්ත සමීක්ෂණයකට අනුව, මුළු ජනගහනයෙන් 12% ක් LGBTIQ ලෙස හඳුනාගෙන ඇති බවත්, එය ප්‍රක්ෂේපිත එකතුව 1,469,574ක් බවත්ය. ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 18-65 අතර පුද්ගලයින්ගේ ඊට ඇතුළත් බවය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!