වත්මන් ටෙලිනාට්‍ය ගැන මොකක්ද ඔබේ කියවීම?
වැරදි වෙළෙඳපොළ තර්කනයක් තිබියදීම වුණත්, මා පුදුමයට පත් වෙනවා ඉතාම විශිෂ්ට ටෙලිනාට්‍ය කීපයක්ම පසුගිය කාලයේ ලංකාවේ විවිධ නාලිකාවල විකාශය වීම සම්බන්ධව. ඒ සඳහා එම නිර්මාණවල අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදකවරුන් විඳින්නට ඇති අප්‍රමාණ ගැහැට මට තේරුම් ගන්න පුළුවන්. අද අප රටේ ටෙලිනාට්‍ය වෙළෙඳපොළ තිබෙන්නේ සියල්ලෙහිම මිල දන්නා, එහෙත් කිසිවක වටිනාකමක් නොදන්නා පුදුම තත්ත්වයක. එක රැයකට ලක්ෂ 80ක් පමණ ප්‍රේක්ෂක සහභාගිත්වයක් සහිත මාධ්‍යයක් හැකිතාක් බාල දේ තැනීමේ තරගයකට යොමු කර තිබීම, රටක් විදිහටම අප කනගාටු විය යුතු කාරණයක් කියලයි මං හිතන්නේ.
ඔබ ජාතික මට්ටමෙන්ම වේදිකාව, සිනමාව, ටෙලිනාට්‍ය යන මාධ්‍ය තුනේම නියැළෙන නිර්මාණකරුවෙක්. මේ ‘තුන් ඉරියව්වෙන්’ ඔබ වඩා දක්ෂ කුමන දෙයට කියලද ඔබ හිතන්නෙ?
මගේ වේදිකා නාට්‍ය රසිකයන් කියන්නේ මා වඩාත් දක්ෂ වේදිකා නාට්‍ය කලාවට බවයි. මගේ සිනමා රසිකයන් කියන්නේ මා වඩාත් දක්ෂ සිනමාවට බවයි. මගේ ටෙලිනාට්‍ය රසිකයන් කියන්නේ මා වඩාත් දක්ෂ ටෙලිනාට්‍යයට බවයි. මා දන්නේ මේ ‘කොයි ඉරියව්වත්’ මට ඉතාම හොඳින් හුරු බවයි