නිවාස අහිමි වූ කජීමාවත්තේ සියලු දෙනාට කඩිනමින් නිවාස

කොළඹ කජිමාවත්තේ පදිංචි, නිවාස අහිමි සියලු පවුල් සඳහා කඩිනමින් නිවාස ලබාදීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

නිවාස ලබාදීමේ රජයේ ප්‍රතිපත්ති හා නිර්ණායකයන්ට අනුකූලව එම කටයුතු සිදු කරන ලෙසයි ජනාධිපතිවරයා එම නිලධාරින්ට උපදෙස් දී ඇත්තේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් ලබා දුන්නේ කොළඹ කජීමා වත්ත නිවාස ගැටලුව පිළිබඳ ඊයේ (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක්වෙමින්.

තව ද, කොළඹ නාගරික බල ප්‍රදේශය තුළ පවතින ඌන උපයෝජිත රජය සතු ගොඩනැගිලි සහ ඉඩම් පිළිබඳව සොයා බලා එම ඉඩම් වාණිජ කටයුතු සඳහා සංවර්ධනය කර ලබාදීමට ඇති හැකියාව සොයා බලන ලෙස ද ජනාධිපතිවරයා මෙහි දී නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

එමෙන්ම කොළඹ නගර සීමාව ආශ්‍රිතව දැනට ක්‍රියාත්මක වන රජයේ නිවාස ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසා බැලූ ජනාධිපතිවරයා රජය මගින් තවදුරටත් නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පැහැදිළි කළ අතර පවතින ආර්ථික තත්ත්වය හමුවේ එය දුෂ්කර වුවද ඒ සඳහා සුදුසු ක්‍රමවේදයක් සකස් කළ යුතු බව ද වැඩිදුරටත් සඳහන් කර තිබෙන බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!