මුලින් ම මහ මැතිවරණය තියන්න – බැසිල් රනිල්ගෙන් ඉල්ලයි

මුලින් ම ජනාධිපතිවරණය නොපවත්වා, මහ මැතිවරණය පවත්වන ලෙස බැසිල් රාජපක්ෂ මහතා විසින් ජනාධිපතිවරයා වෙත යෝජනා කර ඇති බව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ අදහස් පළ කළේ, අද (22) පෙරවරුවේ අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගැනීමට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

“ඕන ම මැතිවරණයකට අපි සූදානම්. හොඳම වැඩේ තමයි බැසිල් ඔය යෝජනා කරලා තියෙන්නේ. මුලින් පාර්ලිමේන්තු මැතිවරණය තියලා පස්සේ ජනාධිපතිවරණය තියන්න. නැත්නම් වෙන්නේ ජනාධිපතිවරණයෙන් දිනන ඕනම පක්ෂයකට ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී විශාල ජයග්‍රහණයක් ඇති වෙනවා. සාධාරණයක් ඇති වෙන්න ඕනේ නම් මුලින් මහමැතිවරණය තියන්න ඕනේ.”

ඊයේ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවති සාකච්ඡාවේ දී ඒ බව ජනාධිපතිවරයා වෙත දැනුම් දී තිබෙන බවයි මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ.

මේ අතර, පළමුව ජනාධිපතිවරණය සඳහා සූදානම් වන ලෙස ජනාධිපතිවරයා විසින් පසුගියදා පැවැති කැබිනට් රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර තිබූ අතර, මෙම හමුව පැවැත්වුණේ එවැනි පසුබිමකයි.

කෙසේ නමුත් මැතිවරණ පිළිබඳ දෙපාර්ශ්වය අතර අවසන් එකඟතාවක් ඇතිවී නොමැති බැවින් ඉදිරියේදී තවදුරටත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තීරණය කර ැති බවත් වාර්තා වනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!