විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය ගත් තීරණය මෙන්න

අද (08) පැවැත්වෙන සාකච්ඡා මඟින් තම ගැටලු සඳහා ස්ථිර විසඳුමක් නොලැබුණහොත් දැනට සිදුකරන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තව දුරටත් තීව්‍ර කිරීමට සිදුවන බව විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය පවසනවා.

විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය විසින් වැටුප් කප්පාදුව පිළිබඳව ගැටලුවක් මුල්කර ගනිමින් පසුගිය 03වන දා සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වෙනවා.

අද දිනයේ දී මෙම වැඩවර්ජනයට සමගාමීව උද්ඝෝෂණයක් ද පැවැත්වීමට නියමිත බවයි විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමයේ අනුශාසක කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ලේකකාධීකාරී සම්පත් උදයංග මහතා පැවසුවේ.

එමෙන්ම අද පැවැත්වෙන සාකච්ඡාවේ දී වැටුප් කප්පාදුව පිළිබඳව කැබිනට් පත්‍රිකාව සාකච්ඡා කර ඉදිරියේ දී එයට විසඳුමක් ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඔහු පැවසුවා.

මේ අතර අනධ්‍යන කාර්ය මණ්ඩලය ආරම්භ කළ වර්ජනය අද හත්වන දිනටත් ක්‍රියාත්මක බව අන්තර් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති මහා සම්මේලනයේ සම ලේකම් කේ. එල්. ඩී රිච්මන් මහතා කියා සිටියා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!