ඇතැම් ප්‍රදේශවලට තද සුළං සමගින් තද වැසි

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය අද (22) දිනයේ තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එසේම දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පැවතිය හැකි බවත් එම නිවේදනයේ දැක්වෙනවා.

බස්නාහිර, සබරගමුව,මධ්‍යම, වයඹ,දකුණු සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

එසේම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 150 පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්ත මේන්තුව පවසනවා.

වයඹ පළාතෙත් මන්නාරම,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකියි.

දිවයිනේ සෙසු පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ දකුණු පළාතේ විටින් විට හමන පැ.කි.මී. (40-50) දක්වා තද සුළං තත්ත්වයක් ඇතිවිය හැකි බවත් කාලගුණ නිවේදනයේ සඳහන් වනවා.

එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං බලාපොරොත්තු විය හැකි බවත් අදාල නිවේදනයේ දැක්වෙනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!