වී ගොවියන්ට සුබ ආරංචියක්

ඉදිරි මහ කන්න දෙකේ දී ශ්‍රී ලංකාවේ වී ගොවීන් සියලුම දෙනාට අවශ්‍ය බණ්ඩි පොහොර (MOP) නොමිලේ ලබා දීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වෙනවා.

ඒ අනුව 2024-2025 මහ කන්නය සහ 2025 -2026 මහ කන්නය තුළ ශ්‍රී ලංකාවේ වී වගා කරන ගොවීන්ට මෙම ඛණ්ඩි පොහොර නොමිලේ හිමිවනු ඇති.

රජය විසින් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයෙන් කරන ලද ඉල්ලීමකට අනුව ඛණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් මෙරටට හිමි වීමට නියමිතයි.

එක් වගා කන්නයක් සඳහා ඛණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 25,000ක් අවශ්‍ය වන අතර අදාළ වගා කන්න දෙක සඳහා ඛණ්ඩි පොහොර නිකුත් කිරීමෙන් පසු තවත් ඛණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 5000ක අතිරික්තයක් ද පවතිනවා.

එම ඛණ්ඩි පොහොර තොග මෙරටට ලැබුණු පසු ඒවා අදාළ ප්‍රදේශ වලට බෙදා හැරීම සඳහා රුපියල් බිලියන 1.5ක් වැය වන අතර එම වියදම රජය විසින් දරන බවයි වාර්තා වෙන්නේ.

මෙම කටයුතු සඳහා විශයභාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති බව ද වාර්තා වෙනවා.