පැටියා මියගිය වේදනාවට සිරුර හිස මත තබා ගෙන පිහිනන තල්මසෙක්

තම පැටියා මියගිය වේදනාව දරා ගැනීමට නොහැකිව මළ සිරුර හිස මත තබා ගෙන පිහිනන තල්මසෙක් පිළිබඳ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ටෙල්ක්වා ලෙස ප්‍රසිද්ධ මෙම තල්මස් මවගේ පැටියා අලුත් අවුරුදුදා මියගොස් ඇති බවත් තම පැටියා මියගිය වේදනාව දරා ගැනීමට නොහැකිව කෙසේ හෝ බේරාගන්නා අදහසින් ඇය සිය පැටියා ඔලුවේ තබාගෙන පිහිනන බවත් වොෂිංටන්හි තල්මසුන් පර්යේෂණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය.

ටෙල්ක්වා ඇයගේ පැටියා සමග පසුගිය 20 වැනිදා පළමුවරට නිරීක්ෂණය වූ බවත් එම අවස්ථාවේ පැටියා ජීවතුන් අතර සිටි බවත් තල්මසුන් පර්යේෂණ මධ්‍යස්ථානය පැවැසුවේය. නමුත් ටෙල්ක්වා සිය පැටියාගේ මළ සිරුර ඔලුවේ තබාගෙන සියැටල් මුහුදේ පිහිනන අයුරු ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනයේ පර්යේෂකයන් ඡායාරූප ගත කර ඇතැයි තල්මසුන් පර්යේෂණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය.

මියගිය තම පැටියා ඔලුවෙන් තල්ලු කරමින් ටෙල්ක්වා පිහිනන බව මේ වනවිට තහවුරු වී ඇතැයි පර්යේෂණ විද්‍යාඥ බ්‍රැඩ් හැන්සන් පැවැසුවේය. පැටියාගේ මළ සිරුර ගිලීමට යනවිට මුහුදේ කිමිදී නැවතත් තම පැටියාගේ මළ සිරුර මුහුද මතුපිටට රැගෙන එන බවද ඔහු ප්‍රකාශ කළේය. ටෙල්ක්වා සිය පැටියා ඔලුවෙ තබාගෙන පිහිනන්නේ ශෝකය ප්‍රකාශ කිරීමක් ලෙස විය හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.

මීට පෙරද 2018 වසරේදී ටෙල්ක්වාට පැටියෙක් අහිමිවී ඇති බවත් එම අවස්ථාවේ ඇය අඛණ්ඩව දින 17 ක් පැටියාගේ සිරුර හිසෙන් තල්ලු කරමින් කිලෝ මීටර 1000 ක් පමණ පීනා ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය. තම පැටියාගේ මළ සිරුර ඔලුවෙන් තල්ලු කරමින් පිහිනන දර්ශනය දුටු බොහෝ සත්ව විද්‍යාඥයින් ඇයගේ මවු සෙනෙහස දැක කම්පාවට පත්වූ බවද ඔහු පැවැසුවේය.