ගාල්ල නාගොඩ ප්‍රදේශයේ නිවෙසක සඟවා තිබියදී පසුගිය නොවැම්බර් 21 වැනිදා මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරින් විසින් සොයාගත් රුපියල් කෝටි 500ක් පමණ වෙළෙඳපොළ වටිනාකමක් ඇති අයිස් සහ හෙරොයින් තොගයෙන් කොටසක් අතුරුදන් වීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
එම විමර්ශන සිදු වන්නේ විශේෂ අංශයක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුගේ අධීක්ෂණයෙන් වන අතර, එම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඉකුත් දිනක මාතර ප්‍රදේශයට ද ගොස් තොරතුරු රැස් කර ඇති බවට විශ්වාසවන්ත තොරතුරු අනාවරණය කළේය.
මේ වන විට එම මත්ද්‍රව්‍ය වැටලීමට සම්බන්ධ වූ නිලධාරින්ගෙන් ප්‍රශ්න කිරීම් පවා සිදු වන අතර, එහිදී ප්‍රශ්නගත කරුණු රැසක් ද අනාවරණය වෙමින් ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය. වැටලීම සම්බන්ධයෙන් සටහන් තැබූ පොත්පත් පවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කණ්ඩායමේ නිරීක්ෂණයන්ට ලක්ව ඇත. ඒ තුළින් ද ගැටලුසහගත තත්ත්වයන් රැසක්ම අනාවරණය වී ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය.
ගාල්ල නාගොඩ පිහිටි නිවෙසකින් සොයාගත් මත්ද්‍රව්‍ය අතර අයිස් කිලෝ 160ක් සහ හෙරොයින් කිලෝ 60ක් තිබී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිල වශයෙන් ඒ සම්බන්ධයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන්ය. ගොඩබිමේදී මෑත කාලයේදී පොලීසිය මඟින් සොයාගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය වූයේ ද එයයි.
ප්‍රශ්නගතව ඇත්තේ මත්ද්‍රව්‍ය කිලෝ 03ත් – 05ත් අතර ප්‍රමාණයක් සම්බන්ධයෙනි. එම මත්ද්‍රව්‍ය තොගය පොලීසියේ නිලධාරින් මඟින් අස්ථානගත වූයේ ද? එසේත් නැතිනම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ක්‍රියාවක් හේතුවෙන් අස්ථානගත වී තිබේ දැයි පැහැදිලිව මෙතෙක් කරුණු හෙළි වී නැත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් මඟින් විමර්ශන පවත්වන්නේ එම මත්කුඩු තොගය සොයා ගැනීමටය.
පොලීසිය මඟින් අත්අඩංගුවට ගන්නා මත්කුඩු අස්ථානගත වීම් සම්බන්ධයෙන් ඉතිහාසයේ කොතකුත් තොරතුරු සඳහන්ය. මෙරට කුප්‍රකට මත්කුඩු ජාවාරම්කරුවකු වූ කුඩු නූර් නමැත්තා සමඟ අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ 04ක් අතුරුදන් වීමක් ගැන ඉතිහාසයේ කරුණු සඳහන්ය. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවා සිදුවූ අතර, එහිදී මත්කුඩු කිලෝ 04ක් පොලීසිය මඟින් අස්ථානගත කර ඇති බව අනාවරණය වී තිබිණි. ඒ හේතුව නිසාම එම මත්කුඩු නඩුවෙන් කුඩු නූර් නිදහස ලැබීය.
මේ වන විට ප්‍රශ්නගත මත්කුඩු තොගය අත්අඩංගුවට ගැනීමට මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරින්ට හැකියාව ලැබෙන්නේ මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට ලද තොරතුරක් හේතුවෙනි. එම තොරතුරෙන් කියැවී ඇත්තේ නොවැම්බර් 18 වැනිදා රාත්‍රී කාලයේදී ගන්දර පොලිස් වසමේ නූන්නවැල්ල ප්‍රදේශයේදී මුහුදු මාර්ග ඔස්සේ බෝට්ටුවකින් රැගෙන එන ලද මත්ද්‍රව්‍ය තොගයක් වෑන් රථයකින් ප්‍රවාහනය කර ඇති බවය. ඒ සම්බන්ධයෙන් කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරින් විසින් පරීක්ෂණ පවත්වා නොවැම්බර් 20 වැනිදා පුද්ගලයන් 05 දෙනකු මාතරදී අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බව කියන රුපියල් 615,000ක මුදලක් ද සමඟිනි.
මෙම සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු මත නොවැම්බර් 21 වැනිදා මාතරදී එක් සැකකරුවකු ද ගල්කිස්සේදී අත්අඩංගුවට ගන්නා පොලීසිය අනතුරුව රත්මලානේදී තවත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත්තේය. ඒ අයගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු මත ගාල්ල නාගොඩ නිවෙසකින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 160 සහ හෙරොයින් කිලෝ 60 අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය. එහිදී එම නිවෙසේ සිටි පුද්ගලයකු ද අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව සමස්ත විමර්ශනයේදී අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන් ගණන 10කි.
එම සැකකරුවන් සමඟ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාර දී තිබේ. මත්ද්‍රව්‍ය කිලෝ 03ක් සම්බන්ධයෙන් වූ ගැටලුවක් ගැන තොරතුරු අනාවරණය වී ඇත්තේ එහිදීය. ඒ බව වැඩබලන පොලිස්පතිවරයාව දැනුවත් කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් පියවර ගෙන ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විමර්ශන භාර දී ඇත්තේ ඒ අනුවය. ප්‍රශ්නගත තවත් කරුණු රැසක් අනාවරණය වී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශන පැවැත්වීමේදීය.