උත්සව සමයේ දී ලොකු ලූණු කිලෝව දාහ පන්නන ලකුණු

එළැඹෙන උත්සව සමයේදී විවෘත වෙළෙඳපොළේ ලොකු ලූණු කිලෝවක තොග මිල රුපියල් දහස ඉක්මවා යනු ඇති බව වෙළෙඳ සංගමය පවසනවා.

එහි සභාපති එච්.එම්. උපසේන මහතා සඳහන් කරන්නේ, ඊයේ (11 වැනිදා) දිනයේදී තොග මිලට සාපේක්ෂව සිල්ලර වෙළෙඳපොළේ ලොකු ලූණු කිලෝවක් රුපියල් 700ක් දක්වා ඉහළ ගොස් තිබූ බවයි.

මේ අතර යම් හෙයකින් උත්සව සමයේ දී, විවෘත වෙළෙඳපොළේ ලොකු ලූනු මිල පාලනය සඳහා ආණ්ඩුව මැදිහත්වී කටයුතු නොකරන්නේ නම් පාරිභෝගිකයන්ට දැඩි පීඩනයක් ඇති විය හැකි බව ද පවසන ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ, දැනට ලොකු ලූණු ආනයනයකරුවන් විසින් මිල තීරණය කරන අතර එය දිනෙන් දින වැඩි කරනවා මිසක් අඩු කිරීමක් සිදු නොකරන බවයි.

කෙසේ වෙතත් රුපියල් හාරසිය අසූවක් දක්වා ඉහළ ගිය ලොකු ලූණු තොග මිල ඉකුත් සතියේදී රුපියල් 380ක් වූ බව පවසන ජාතික පුවත්පත්පතක් සිය පුවත් වාර්තාවක් මගින් සඳහන් කළේ, දෛනිකව දඹුල්ල තොග වෙළෙඳපොළෙන් කිලෝ ලක්ෂ පහක් පමණ තොග ගැනුම්කරුවන් මිලදී ගන්නා අතර ඊයේ (11) මිල ඉහළ යාමත් සමග තොග මිල දී ගැනීම යම් තරමකින් පහළ ගොස් තිබුණු බවයි.