මත්ද්‍රව්‍ය සහ මුදල් තොගයක් සමග කුඩු ශිරෝ අත්අඩංගුවට

බොරැල්ල සරණපාල හිමි මාවතේ නිවසක් වටලා සිදුකළ පරික්ෂාවේදී ” කුඩු ශිරෝ” නැමැති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරිය රුපියල් ලක්ෂ 80කට ආසන්න මුදලක් තැන්පත්ව තිබූ බැංකු පොතක් , මත්ද්‍රව්‍ය සහ මුදල් තොගයක් සමග අත්අඩංගුවට ගත් බවට තොරතුරු වාර්තා වනවා.

ඊට අමතරව එම සැකකාරිය සන්තකයේ තිබී හොරයින් මත්කුඩු මිලිග්‍රෑම් 3180 ක් ,ජාවාරමෙන් උපයා ගත් රුපියල් 95000ක මුදලක් හා ජංගම දුරකථනයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සංවිධානාත්මක අපරාධ මැඩලීමේ විශේෂ මෙහෙයුමේදී ලද තොරතුරක් අනුව සැකකාරිය පදිංචි නිවස වටලා සිදු කළ පරික්ෂාවේදී මෙම මත්ද්‍රව්‍ය සහ බැංකු පාස් පොත ඇතුළු මුදල් තොගය සොයාගැනීමට හැකිවූ බව පොලිසිය පවසනවා.

සැකකාරියගේ නිවස තුළ තිබී සොයා ගත් රාජ්‍ය බැංකුවකට අයත් බැංකු පොත පරික්ෂා කිරීමේදී එහි රුපියල් ලක්ෂ 80 ක මුදලක් තැන්පත්ව තිබියදී මෑතකදී රුපියල් 50000/= මුදලක් නැවත ලබාගෙන ඇති අයුරු සටහන්ව තිබූ බවත් ,එවැනි මුදලක් බැංකු ගත කළේ කුමන ආකාරයෙන්ද යන්න සිදු කළ ප්‍රශ්න කිරීමේදී එයට සාධාරණ පිළිතුරක් නොලැබුණු බවත් වාර්තා වනවා.

සැකකාරිය භාරයේ තිබූ ස්මාර්ට් ජංගම දුරකථනය පරික්ෂා කිරීමේදී අන්තර්ජාලය ඔස්සේ ද විශාල මුදල් ප්‍රමාණයක් හුවමාරු වී ඇති බවට එහි සටහන්ව තිබු බව විමර්ශන පවත්වන පොලිස් නිලධාරියකු වැඩිදුරටත් පැවසුවා.

46 හැවිරිදි වියේ පසුවන සැකකාරියගෙන් රඳවා ගැනීමේ නියෝග මත මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට නියමිතව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ පොලීසිය සිදුකරනු ලබනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!