ආපදාවලින් මිය ගිය ගණන 21 දක්වා ඉහළට

පැවති වැසි තත්ත්වය සමග ඇති වූ ආපදා වලින් මියගිය සංඛ්‍යාව 21ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ කොඩිප්පිලි මහතා සඳහන් කරනවා.

එසේම ඊයේ (04) දිනයේදී පස් කණ්ඩියක් කඩා වැටීමෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ ළමයෙක් මියගිය සිද්ධියක් වාර්තා වූ බවත් ඒ මහතා සඳහන් කරනවා.

එම නිසා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පස සන්තෘප්ත වී ඇති නිසා පස් කඩාවැටීම් තත්ත්වයක් ඇතිවීමේ ඉඩකඩ ඇති බැවින් ලයිට් කණු ඇලවෙන , ගස් ඇලවෙන ,පස් කණ්ඩිවල ඉරිතලා යන ස්වාභයක් හා දිය උල්පත් සිඳී මඩ සහිත වතුර ගලා එන තත්වයක් ඇතිනම් එම ස්ථාන වලින් ඉවත්ව යන ලෙසයි.

එලෙසම මේ දින කිහිපය තුළ අඩු වර්ෂාපතනයක් ලැබුණත් ගංගා පිටාර ගැලීමේ මට්ටමේ පවතින නිසා තවදුරටත් ගංගා ආශ්‍රිතව ජීවත් වන පවුල් සැලකිලිමත් විය යුතු බව හා අවධානයෙන් සිටිය යුතු බව ඒ සහකාර අධ්‍යක්ෂකවරයා අවධාරණය කරනවා.

පවතින තත්ත්වය අඩුවනතුරු ආරක්ෂිත ස්ථානවල තවදුරටත් රැඳී සිටින ලෙස අපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.