2025 වර්ෂය සඳහා රජය මගින් පැනවූ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් විරෝධය දක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව විශේෂ මාධ්‍ය හමුවක් පවත්ව ලැබුවා.
එහිදී අදහස් දැක්වූ දුමින්ද නාගමුව.
” 2025 වසර ආරම්භයේදී මුදල් අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කළා. ඒ බදු සම්බන්ධයෙන්. ඒ නිවේදනයට අනුව 2024 අවුරුද්දේ දෙසැම්බර් 31 දක්වා ඛාණ්ඩ 63ක් යටතේ භාණ්ඩවලට පනවා තිබූ බදු 2025 වසරටත් දීර්ඝ කරන්න පියවර අරන්. මේ වෙළඳභාණ්ඩ බද්ද නිසා අත්‍යාවශ්‍ය ආහාර විශාල ප්‍රමාණයක මිළ ඉහල යනවා.
අපි දන්නවා ජාතික ජන බලවේග ආණ්ඩුව මැතිවරණ වේදිකාවේ දි පොරොන්දු වුනා අත්‍යාවශ්‍ය ආහාර මත පනවලා තියෙන බදු ඉවත් කරන්න. ඊලඟට ඔවුන් කිව්වා පාසල් උපකරණ සහ අත්‍යාවශ්‍ය ඖෂධ මත පනවල තියෙන බදු ඉවත් කරන බව. හැබැයි දැන් කරමින් ඉන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. රනිල්ගේ ගැසට් එකේ දිනය සහ අත්සන වෙනස් කරලා ඊලඟ අවුරුද්දටත් දීර්ඝ කරලා. මේ ගැසට් එකෙන් සීනි 1KG සඳහා රුපියල් 50ක්, ලුණු 1KG රුපියල් 40ක්, සහල් 1KG රුපියල් 65ක්, කහ 1KG රුපියල් 360ක්, කරවල සහ හාල් මැස්සන් 1KG සඳහා රුපියල් 100ක් වශයෙන් අත්‍යාවශ්‍ය ආහාර සියල්ලටම විශාල බද්දක් එකතු වෙලා තියනවා.
මේ ගතවෙන මොහත ඉතාම බරපතළයි. රටේ දරුවන්ගෙන් හතරෙන් එකක් ඉන්නේ මන්දපෝෂණයෙන්. ගැබිනි මව්වරුන් විශාල ප්‍රමාණයක් රක්තහීනතාවයෙන් පෙලෙනවා. එහෙම ජනතාවකට තමයි මේ කියන්නේ අර්බුදය වෙනුවෙන් තමන්ගේ දෛනික ආහාර වේලෙන් වන්දි ගෙවන්න කියලා. ආණ්ඩුවට වගකීමක් තියනවා තීරණ ගනිද්දී ජනතාවගේ පැත්තෙන් හිතන්න. නමුත් ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නේ IMF වට්ටෝරුවට අනුව. කඩපළේ හන්දියේ ටවුමේ ආණ්ඩුව විවේචනය කරන්න අදාළව මාතෘකා ආණ්ඩුව විසින්ම ජනතාවට සපයන්න තමයි මේ ලෑස්ති වෙන්නේ.
හාල් ප්‍රශ්නෙදි බරපතළ විවේචනයක් ආණ්ඩුවට ආවා. තවම ඒක ඉවර නෑ. ආණ්ඩුව සතොස හරහා සහල් ගෙන්න්න සැලසුම් කරත් ඒක අසාර්ථක වුනා. ඒ ටෙන්ඩර් දැමීමෙදි කරගත්ත වැරදි නිසා. ඒකෙ වගකීම සතොස සේවකයින්ට හෝ රජයේ නිළධාරීන්ට පටවල හරි යන්නෑ. ඒ වැරද්ද ආණ්ඩුව බාරගන්න ඕන. දැනට පෞද්ගලික අංශයෙන් ගෙන්නපු සහල් පවා වෙළඳපොලට ආවද කියන ප්‍රශ්නය අපිට තියනවා. මොකද පසුගිය පළවෙනිදා සමහර ගෙවල්වල කිරිබත් ටිකක් කන්නවත් හාල් තිබුන්නෑ.
නව පාසල් වාරයක් පටන්ගත්තා. නමුත් දෙමාපියන්ට තමන්ගේ දරුවා පාසලට යවන්න ඕනකරන පොත්පත් ටික මිළදීගන්න බැරි තත්වයක් උදා වෙලා. පොත්පත් මත පටවල තියෙන වැට් බදු ප්‍රමාණය 18%ක්. මේ වැට් බද්ද ඉවත් නොකර ආණ්ඩුව කරන්නේ අස්වැසුම සහිත පවුල්වල දරුවන්ට රුපියල් 6000ක් දෙන එක. ඒකවත් හරියට දීලා නෑ. අත්‍යාවශ්‍ය ඖෂධ මත පටවපු වැට් බදු නිසා බොහෝ රෝගීන්ට බෙහෙත් ටික ගන්න විදිහක් නෑ.
දැන් ආණ්ඩුව මේ ක්‍රියාත්මක කරන්නේ IMF යෝජනා. රනිල් මිනිස්සුන්ට කවපු ටිකම තමයි දැන් මාලිමා ආණ්ඩුව බලයට ඇවිල්ලා කවන්නෙත්. වෙනස් වෙලා තියෙන්නේ කවන අත විතරයි. ආණ්ඩුවට අමතක වෙලා රනිල් වික්‍රමසිංහට ජනතාවගෙන් එල්ලවුණු විරෝධය. අන්තිමට ඡන්දෙනුත් පරදින්න වුනා. දැන් ජාතික ජන බලවේගය ලෑස්ති වෙන්නේ ඒ විරෝධයේම මීලඟ උරුමක්කාරයා වෙන්න.
අපි ආණ්ඩුවට කියනවා දැන්වත් මේ ක්‍රියාත්මක කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආර්ථික ප්‍රතිපත්ති වලින් ඉවත් වෙන්න. මැතිවරණයේ දී පොරොන්දු වුණු විකල්ප ණය තිරසරකරණ විශ්ලේෂණය කරන්න. ඊටපස්සෙ ජනතාවට හිතකර ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න. ඒවගේම ජනතාවටත් වගකීමක් තියනවා තව ටිකක් බලමු වගේ කතා කිය කියා බෙල්ල ගාවට හිර වෙනකක් බලාගෙන ඉන්න එපා. දැන්වත් මේ ආණ්ඩුවට මැදිහත් වෙන්න. මැදිහත් වෙලා මේ ප්‍රශ්නවලට උත්තර ඉල්ලන්න. “