බැල්ටිමෝර් වරාය ආශ්‍රිතව රැකියා අටදහසකට පමණ බලපෑම්

ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරමින් තිබූ භාණ්ඩ නෞකාව ගැටුණු ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලම කඩාවැටීමෙන් බැල්ටිමෝර් වරාය ආශ්‍රිතව රැකියා අටදහසකට පමණ බලපෑම් එල්ල වී ඇතැයි එම වරාය අයත් මේරිලන්ඩ් පළාතේ ආණ්ඩුකාර වෙස් මුවර් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

පසුගිය වසරේදී පමණක් අමෙරිකානු ඩොලර් බිලියන 80ක භාණ්ඩ හුවමාරු වූ මේ වරාය ජාතික සහ ජාත්‍යන්තර ආර්ථිකයේ වැදගත් සැපයුම් මාර්ගයක් බවත් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

ටොන් දහසක් පමණ රැගෙන යා හැකි බත්තල් භාවිත කරමින් විශාල දොඹකර මඟින් පාලමෙහි සුන්බුන් ඉවත් කිරීමට අමෙරිකානු නාවික හමුදාව සැලසුම් කර ඇති අතර, එම පාලම නැවත ඉදි කිරීම වේගවත් ක්‍රියාවලියක් නොවූවත් හැකි ඉක්මනින් එම කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව මේරිලන්ඩ් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලේකම් පෝල් වීඩ්ෆීල්ඩ් ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වනවා.

වරායේ පිවිසුම් මාර්ගය යළි විවෘත කරන තුරු ඩොලර් මිලියන 15ක පමණ දෛනික පාඩුවක් විඳ ගැනීමට සිදුවනු ඇතැයි ද වාර්තා වනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!