කෝලි අභිබවා බාබර් අසාම් පළමු තැනට

පාකිස්තාන කණ්ඩායමේ නායක බාබර් අසාම් පන්දුවාර 20 යි 20 ජාත්‍යන්තර තරගවල වැඩිම ලකුණු ලාභියා බවට පත්ව තිබෙනවා.

මේ දක්වා එහි පෙරමුණ ගෙන සිටියේ ඉන්දීය පිතිකරු විරාත් කෝලියි.

නමුත් ඔහුව දෙවන ස්ථානයට පත් කරමින්බාබර් අසාම් පළමු ස්ථානයට පැමිණ තිබෙනවා.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අමෙරිකානු කණ්ඩායම සමග ඊයේ (06) පැවති තරගයේ දී පාකිස්තානයට අමිහිරි පරාජයකට මුහුණ දීමට සිදු වුණා.

නමුත් එම තරගයේ දී ලකුණු 44ක් වාර්තා කිරීමට බාබර් අසාම් සමත්වීමත් සමග ඔහු මෙලෙස 20යි 20 වැඩිම ලකුණුලාභියා බවට පත් වුණා.

ඒ අනුව 20යි 20 ජාත්‍යන්තර තරග 120කට සහභාගී වෙමින් බාබර් අසාම් රැස්කරගෙන ඇති මුළු ලකුණු සංඛ්‍යාව 4,067කි.

තරග 118ක දී ලකුණු 4,038ක් රැස්කර‍ගත් විරාත් කෝලි 20යි 20 වැඩිම ලකුණු ලාභීන් අතර දෙවන ස්ථානයට පත්ව සිටින අතර තරග 152ක දී ලකුණු 4,026ක් ලබාගනිමින් රෝහිත් ශර්මා එහි තෙවන ස්ථානයේ රැඳී සිටිනවා

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!