නීතිඥ සංගමය ජනපති වෙත යොමු කළ ලිපියට ජනාධිපති ලේකම්ගෙන් පිළිතුරු

නව නීතිපතිවරයෙකු පත්කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කළ ලිපියට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පිළිතුරු ලිපියක් මඟින් ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඒ මහතා එම ලිපිය මඟින් අවධාරණය කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය සහිතව නීතිපතිවරයා පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ඇ. ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව බලය පවතින බවයි.

එසේම ජ්‍යේෂ්ඨත්වය මත පදනම්ව නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨතම නිලධාරියා මෙම තනතුර සඳහා පත්කිරීමට ව්‍යවස්ථාපිත අවශ්‍යතාවක් නොමැති බවත් එහි සඳහන් වනවා.

එසේම නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වෙත නීතිපති ධූරය ලබාදීමේ ක්‍රමයක් ශ්‍රී ලංකා ඉතිහාසය තුළ අනුගමනය කර නොමැති බවත් එහි දැක්වෙනවා.

ජනාධිපති නීතිඥ සරත් එන්. සිල්වා මහතා සහ ජනාධිපති නීතිඥ මොහාන් පීරිස් මහතා පසුගිය කාලය තුළ නීතිපති ධූරය සඳහා සිදුකර ඇති පත්වීම් නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්ගෙන් පරිබාහිරව සිදුකර ඇති බව එම ලිපියේ සඳහන් කර තිබෙනවා.

ජනාධිපතිවරයාගේ සහ අමාත්‍ය මණ්ඩලයේ විශ්වාසය තහවුරු කර ගැනීමට හැකි සියලු සුදුසුකම්ලාභීන් පිළිබඳ පුළුල් ලෙස සලකා බැලීමේ අවශ්‍යතාවය අවධාරණය කර ඇති ජනාධිපති ලේකම්වරයා, නීතිපති ධූරය සඳහා වෙනත් සුදුසුකම්ලාභීන් සිටියදී එක් පුද්ගලයෙකු වෙනුවෙන් පමණක් ශ්‍රී ලංකා නීතීඥ සංගමය පෙනී නොසිටිය යුතු බවත් මෙම ලිපියේ සඳහන් කර තිබෙනවා.

හිටපු නීතිපති සංජේ රාජරත්නම් මහතා විශ්‍රාම යාමෙන් පුරප්පාඩු වූ නීතිපති ධූරය සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨතම නිලධාරියා පත් කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය මීට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් සිදුකර තිබුණා.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ලේකම් චතුර ඒ. ගල්හේන මහතාගේ අත්සනින් යොමු කර ඇති මෙම ලිපිය මඟින් නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සහ යුක්තියේ සාධාරණත්වය සහතික කිරීම සඳහා නීතිපතිවරයා සතු තීරණාත්මක කාර්යභාරය අවධාරණය කර ඇති අතර, ඔවුන්ගේ මෙම ඉල්ලීම සාධනීය අයුරින් සලකා බලන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.