විදෙස් හමුදා කඳවුරුවලට යවන ජාවාරම්කරුවන් අල්ලන්න මෙහෙයුමක්

මෙරට හිටපු හමුදා භටයන් රුසියාවේ සහ යුක්‍රේනයේ හමුදා කඳවුරුවලට යොමු කිරීමේ ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ බුද්ධි අංශ ඒකාබද්ව මෙම මෙහෙයුම ආරම්භ කර ඇති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා සඳහන් කළා.

එමෙන්ම එලෙස විදේශ ගත වී ඇති පුද්ගලයින් සෙවීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය මඟින්ද විමර්ශන ආරම්භ කර ඇති බවත් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා වැඩිදුරටත් පැවසුවා.

ඒ පිළිබඳව ඒ මහතා මෙසේ අදහස් දැක්වුවා,

“හොර රැකියා ඒජන්තවරුන් එක්ක එකතුවෙලා විශ්‍රාම ගිහින් ඉන්න රණවිරුවන්ව මේ රුසියානු – යුක්‍රේන යුද පෙරමුණට යවන්නට මිනිස් ජාවාරමක් කරනවා. මෙතැනදි බොරු පොරොන්දු රැසක් දීලා තියෙනවා රුසියානු හමුදාවට බන්ඳනවා කියලා. යුක්‍රේන යුද්ධයට බඳවනවා පීටර්ස් බර්ග් වැනි ප්‍රසිද්ධ තැන්වලින් ඉඩම් ලබාදෙනවා කියලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි පවුල්වල අයට රුසියාවේ පුරවැසිභාවය, රු ලක්ෂ 10කට අධික මුදලක් ලබාදෙන බවත් පවසා තිබෙනවා. නමුත් ඒ අයට මුදල් කිසිම දෙයක් ලබාදීලා නෑ. කිසිම වැටුපක් ගෙවලා නෑ. ඒ වගේම මිය ගියොත් හරි බරපතළ තුවාල ලැබුවොත් කිසිම වන්දියක් ගෙවලත් නෑ. මෙවට රැවටිලා අපේ රණවිරුවන් සෑහෙන ප්‍රමාණයක් මේ වෙද්දිත් යුද පෙරමුණට ගිහින් කොටසක් මියගිහින්. කොටසක් තුවාල ලබලා තියෙනවා. ඒවා ගැන කවුරුදත් දන්නේ නෑ. අපි විශාල උත්සාහයක් දරනවා ඒ අය කවුද කියලා දැනගන්න. මොකද එයාලා යුද්ධයට බැඳිලා තියෙන්නේ නීතියානුකූල හමුදාවලට නෙමෙයි. කුලී හමුදාවන්ට තමා ඔවුන්ව බඳවාගෙන තියෙන්නේ.”

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!