ගම්පහ පාසලක ක්‍රීඩා ඇඳුම් ගැන පොලිස් මුලස්ථානයෙන් පරීක්ෂණයක්

පසුගිය දිනක ගම්පහ ප්‍රදේශයේ පාසලක පවත්වන ලද ක්‍රීඩා උත්සවයකදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සටන් සඳහා භාවිත කරනු ලබන කැලෑ නිල ඇඳුමට සමාන ඇඳුමින් පාසල් ශිෂ්‍ය බටයන් සැරසී එම උත්සවයට සම්බන්ධ වීම පිළිබඳ පරීක්ෂණයක් පොලිස් මූලස්ථානය ආරම්භ කර තිබෙනවා.

පොලිස් මූලස්ථානය සම්බන්ධීකරණය කිරීම සඳහා ඒ ඒ ප්‍රදේශවල පත්කර තිබෙන පොලිස් නිලධාරීන් මේ පිළිබඳව දැනුවත්ව සිටිමින් එය වැළැක්වීම සඳහා කටයුතු නොකිරීමත් එසේම මේ සඳහා නිසි පරිදි අවසරයක් ලබාගෙන නොතිබීමත් පිළිබඳව පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය පොලිස්පතිතුමගේ උපදෙස් මත මෙම පරීක්ෂණය ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත්කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් වනවා.

අභ්‍යන්තර පරීක්ෂණයේදී පොලිස් නිලධාරීන් විසින් යම් වරදක් සිදුකර ඇති බව ඔප්පු වුවහොත් එම නිලධාරීන් සම්බන්ධයෙන් විනයානුකූලව ක්‍රියා කරන බවත් එහි දැක්වෙනවා.

ඒවගේම ළමුන් භාවිත කරන ලද නිල ඇඳුම් කොටස් මේ වනවිට ගම්පහ මූලස්ථාන පොලිසිය මගින් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙම නිල ඇඳුම් මැසීම සඳහා කටයුතු කර ඇති මැහුම්කරු අත්අඩංගුවට ගෙන අනුරාධපුර මූලස්ථාන පොලිසිය වෙත ඉදිරිපත්කර තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!