මීගමුවේ ස්පා කතුන් 2කට ඒඩ්ස්; ස්පා 53ක් වැසෙයි – 137ක් අත්අඩංගුවට

මීගමුව ප්‍රදේශය ආශ්‍රිතව සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසවල සේවයේ නිරත වූ කාන්තාවන් දෙදෙනෙකුට HIV ආසාදනය වී ඇති බවට වෛද්‍ය පරීක්ෂණයකදී අනාවරණය වී තිබෙන බව අද (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තලදූව මහතා පැවසුවා.

ඒ අනුව කරන ලද වැටලීමේ දී සම්භාහන මධ්‍යස්ථාන 53ක් වසා දැමීමට කටයුතු කර ඇති අතර ඒවායේ සේවයේ නිරතව සිටි කාන්තාවන් 137ක් අත්අඩංගුවට ගෙන තිබෙ බවත් ඔහු සඳහන් කළා.

ඉකුත් දිනවල මෙම වැටලීම් මීගමුව, කොච්චිකඩේ සහ සීදූව යන පොලිස් වසම්වල සිදු කර ඇති අතර, එහි දී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව අත්අඩංගුවට ගත් පිරිස, ගණිකා නිවාස පවත්වාගෙන යාම, ගණිකාවන් ලෙස පුද්ගලයින් සේවයේ යෙදවීම, ඒවායේ රැඳී සිටීම, එම ස්ථානය කළමනාකරණය කිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, එම සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වෛද්‍ය පරීක්ෂණ සඳහා ඉදිරිපත් කරනු ලැබූ බවයි.

එම මාධ්‍ය හමුවේ දී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ,

“මෙලෙස පවත්වාගෙන ගිය ස්පා 53කට වැඩි සංඛ්‍යාවක් සම්පූර්ණයෙන් වසා දැමීමට අවශ්‍ය කටයුතු කරලා තියෙනව. මෙහි දී සැකකරුවන් අතර පිරිමි පුද්ගලයින් 08 දෙනෙක් කාන්තාවන් 137ක් මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වුණා. වෛද්‍ය පරීක්ෂණයට යොමුකළ කාන්තාවන් අතරින් දෙදෙනෙකුට HIV ඒඩ්ස් වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී තිබෙනවා. අදාළ අංශවලට දැනුම්දීමක් කරලා තියෙනවා. අදාළ කාන්තාවන් ගණිකා සේවය ලබාදුන් පුද්ගලයින් හඳුනාගැනීමට කටයුතු කරමින් තිබෙනවා. පෞද්ගලික ව්‍යාපාර පවත්වාගෙන යන මුවාවෙන් ඒවා ලියාපදිංචි කරලා මෙවැනි ස්ථාන පවත්වාගෙන යනවා. ඉදිරියේදී ගණිකා නිවාස ලෙස පවත්වාගෙන යන සැකකටයුතු ස්ථාන විශේෂ පරීක්ෂාවකට ලක්කිරීමට බලාපොරොත්තුවනවා.” යනුවෙන්.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!