සඳුදා (30) රාජ්‍ය සේවකයන් විසින් පැවැත්වීමට නියමිත දීපව්‍යාප්ත වැඩවර්ජනයට එක්වන්නේද නැද්ද යන්න පිළිබඳ තීරණය කිරීමට විශේෂ කාරක සභා රැස්වීමක් අද පැවත්වීමට නියමිත බවරජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ පැවසීය .
සිය වෘත්තීය ක්‍රියාමාර්ගය ගැන මාධ්‍යට අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය .
“මේ රටේ රෝහල් පද්ධතිය ඇතුළේ දැවැන්ත සේවාවක් සිදුකරන මේ රටේ වෛද්‍යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන් මුහුණ දෙන ගැටලු සහ විශේෂයෙන් ආර්ථික අසාධාරණය සම්බන්ධයෙන් විසඳුම් ලබාදෙනවා තියා අඩුම ගානේ සාකච්ඡා කරන්නවත් සූදානම් නැති ස්ථාවරයක තමයි ආණ්ඩුව ඉන්නේ.
සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිතුමාගෙන් අපි පස් වතාවකට වඩා ඉල්ලීම් කරලා තියෙනවා, අග්‍රාමාත්‍යවරියගෙන් දෙවතාවක්, සෞඛ්‍ය ඇමතිතුමාගෙන් තුන් වතාවක්. හැබැයි කවුරුත් සූදානම් නැහැ සාකච්ඡා කරන්න සහ ඒවාට පිළිතුරු ලබා දෙන්න. එහෙම තත්ත්වයක් තුළ තමයි අපිට සිද්ධවෙලා තියෙන්නේ මේ විදියට ආයෙත් වෘත්තීය ක්‍රියාමාර්ගය අරගෙන එන්න. තාමත් අපි සාකච්ඡාව සඳහා බලාපොරොත්තු වෙන් ඉන්න අතරතුරේදී සාකච්ඡාව ලබාදෙන්නේ නැත්නම් මෙතනින් එහාට මොන වගේ ක්‍රියාමාර්ගද ගන්නේ කියන කාරණය සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න තමයි අද අපි රැස්වෙන්නේ. ”
වෛද්‍යවරුන්ගේ මූලික වැටුප් ඉහළ දමා ඇති පසුබිමක වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීම සාධාරණ නොවන බවට ජනාධිපතිවරයා ඊයේ සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන්ද වෛද්‍ය චමිල් විජේසිංහ මෙලෙස අදහස් දැක්වීය .
“මූලික වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් අපි දිගටම කිව්වා ඒක හොඳයි, සාධනීය දෙයක්. හැබැයි මූලික වැටුප් වැඩි කිරීම සිදුකරන මොහොතේදී 2025 අවුරුද්දේදී වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරි දීමනාවෙන් සහ නිවාඩු දින ගෙවීම්වලින් තුනෙන් එකක් කප්පාදු කළා. එතකොට ඒ කප්පාදුව ඇතුළේ ගෙවුණු අවුරුදු දෙක තුළ විතරක් අපි රුපියල් කෝටි 4400ක් මේ රටට ඉතුරු කරලා දීලා තියෙනවා.
එවන් පසුබිමක තමයි අවුරුද්දකට රුපියල් කෝටි 10,000ක් උපයන්නට බදු ගෙවීමේ පසුබිමක තමයි මේ වෛද්‍යවරුන් ඉල්ලන්නේ . හැබැයි එතුමාම කිව්වා සාකච්ඡාවෙන් විසඳන්න පුළුවන් කියලා. එහෙම කියන ගමන් එතුමා සාකච්ඡා මේසයේ ඉන්නැතුව සාකච්ඡා මේසයෙන් මේ ආණ්ඩුව පැනලා යනවා.”