යාපනය විශ්වවිද්‍යාලයේ ගැටුමට සම්බන්ධ සිසුන් 21 ක් රිමාන්ඩ් .

යාපනය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර ඇති බව එම විශ්වවිද්‍යාලය පවසයි.

යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය තිරුනාවුක්කරසු වේල්නම්පි සඳහන් කළේ, පොලිසිය විසින් සිදුකරන විමර්ශනවලට අමතරව විශ්වවිද්‍යාල පරිපාලනය ද මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර ඇති බවය.

පසුගිය 19 වැනිදා රාත්‍රී කාලයේදී යාපනය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ දෙවැනි වසරේ සහ තෙවැනි වසරේ සිසුන් දෙපිරිසක් අතර පෞද්ගලික නේවාසිකාගාරයක හටගත් මෙම ගැටුම හේතුවෙන් සිසුන් තිදෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුළත් කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කෝපායි පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති අතර, ඒ අනුව ගැටුමට සම්බන්ධ සිසුන් 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

අනතුරුව ඔවුන් ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර ඇත. තවත් සිසුන් කිහිප දෙනෙක් ගැටුමට සම්බන්ධව අත් අඩංගුවට ගැනීමට නියමිතව අතිබව වාර්තා වේ .

මෙම ගැටුම විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් පිටත සිදුවූවක් වුවද, ඒ සම්බන්ධයෙන් පොලිසිය සිදුකරන සියලු විමර්ශන කටයුතු සඳහා විශ්වවිද්‍යාල පරිපාලනයේ සහය ලබාදෙන බව යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා පවසයි .