කළමනාකරණ සේවා නිලධාරී ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයෙන් රජයට දැඩි ඉල්ලීමක්

මෙවර අයවැයෙන් කළමනාකරණ සේවා නිලධාරීන් ප්‍රමුඛ සාමාන්‍ය රාජ්‍ය සේවකයන්ගේ ජීවන අර්බුදයට විසඳුම් ලබා නොදීම හේතුවෙන්, සමස්ත රාජ්‍ය සේවයේ එම පිරිසට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස ආණ්ඩුවට බල කරමින්, රාජ්‍ය සේවයේ සියලු වෘත්තීය සමිති ඒකාබද්ධ වෘත්තීය ක්‍රියාමාර්ගයක් කඩිනමින් ප්‍රකාශයට පත් කිරීමටත්, ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමට අඛණ්ඩව කටයුතු කිරීමටත් කළමනාකරණ සේවා නිලධාරී ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ නායකයෝ ඊයේ (14) පැවති සාකච්ඡාවේදී තීරණය කළහ.

ඒ අනුව, අනුර දිසානායක ජනාධිපතිවරයා විසින් 2027 වර්ෂයට අදාළව ඉදිරිපත් කරන ලද අයවැය මඟින් රාජ්‍ය සේවයේ අතිබහුතරයක් වූ අඩු වැටුප් ලබන රාජ්‍ය සේවකයන්ගේ බලාපොරොත්තු බිඳ වැටී ඇත. අයවැය ඉදිරිපත් කිරීමට පෙර රජයේ වගකිවයුතු අමාත්‍යවරුන් ද, ජනාධිපතිවරයා ද කම්කරු පන්තියට ලබා දුන් බලාපොරොත්තු පුස්සක් වී තිබේ. 2025 අයවැය මඟින් රාජ්‍ය සේවයට ලබා දුන් වැටුප් වැඩිවීම වසර තුනක් පුරා අදියර තුනකින් ක්‍රියාත්මක වන තත්ත්වයක් තුළ, අඩු වැටුප් ලබන රාජ්‍ය සේවකයන්ට ලැබුණු වැටුප් වැඩිවීම ඉහළ රාජ්‍ය නිලධාරීන්ට සාපේක්ෂව ඉතා අඩු අගයක් බව පැවති සාකච්ඡාවේදී පෙන්වා දෙන ලදී.

පසුගිය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පාලන කාලය තුළ ඉහළ රාජ්‍ය නිලධාරීන් සඳහා රු. 50,000ක විධායක දීමනාවක් ලබා දීමට කටයුතු කළ අතර, අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ට එවකට ලබා නොදුන් එම රු. 50,000 දීමනාව එලෙසම තිබියදී, ඉහළ රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රවාහන දීමනා ඇතුළු අනෙකුත් දීමනා මෙන්ම පොලීසිය, හමුදාව, බන්ධනාගාර, සෞඛ්‍ය සහ අධිකරණ ක්ෂේත්‍රයන්හි දීමනා සම්බන්ධයෙන් පමණක් කටයුතු කළ ආණ්ඩුව, මෙවර අයවැයෙන් සාමාන්‍ය රාජ්‍ය සේවකයාගේ ජීවන තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර නොමැත.
කළමනාකරණ සේවා නිලධාරීන් ඇතුළු අඩු වැටුප් ලබන නිලධාරීන් තම වැටුපෙන් ප්‍රවාහන වියදම් සහ නිවාස කුලී ගෙවා ගනිමින් අතිශය දුෂ්කර ජීවිතයක් ගත කරන බව ආණ්ඩුවට අමතක වී ඇත. එබැවින්, කළමනාකරණ සේවා නිලධාරී සේවය නියෝජනය කරන වෘත්තීය සමිති ඒකාබද්ධව “කළමනාකරණ සේවා නිලධාරී ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය” ලෙස රු. 25,000ක දීමනාවක් ලබා දෙන ලෙස ආණ්ඩුවට බල කරමින් දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වෙත යොමු වීමට 2026.11.14 දින පැවති වෘත්තීය සමිති නියෝජිත සාකච්ඡාවේදී තීරණය කරන ලදී.