විදෙස්ගත ශ්‍රමිකයන්ට සහනදායි නිවාස ණයක් .

2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද (12) ආරම්භ කරනු ලැබීය

විදේශගත ශ්‍රමිකයන්ගේ නිවාස අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 50ක් දක්වා වූ සහනදායී නිවාස ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට 2027 අයවැයෙන් යෝජනා කර තිබේ .

ඒ අනුව, පළමු රුපියල් ලක්ෂ 30 සඳහා 10%ක පොළී සහනාධාරයක් ද, ඉතිරි රුපියල් ලක්ෂ 20 සඳහා 5%ක පොළී සහනාධාරයක් ද ලබාදීමට නියමිතය.

පළමු රුපියල් ලක්ෂ 30 සඳහා ලබාදෙන පොළී සහනාධාරයෙන් 6%ක දායකත්වයක් රජය විසින් ද, 4%ක දායකත්වයක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින්ද දැරීමට යෝජනා කර ඇත .

එමෙන්ම ඉතිරි රුපියල් ලක්ෂ 20 සඳහා වන පොළී සහනාධාරයෙන් 3%ක දායකත්වයක් රජය විසින් ද, 2%ක දායකත්වයක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ද දැරීමට නියමිතය.

මෙම පොළී සහනාධාර යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා 2027 වසරේදී රජයේ දායකත්වය ලෙස රුපියල් මිලියන 1,000ක මුදලක් වෙන් කිරීමට නියමිතය.