මත්පැන් සඳහාත් IMF මැදිහත් වෙයි .

දේශීය නිෂ්පාදිත මත්පැන් සඳහා අය කරන බද්දට වඩා අඩු ස්ථාවර සුරාබද්දක් ආනයනික මත්පැන් සඳහා ලීටරයකට අය කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කර ඇති බවත්, එම පරස්පරතාව මධ්‍යකාලීන ආදායම් උපායමාර්ග ප්‍රතිපත්ති සහ පරිපාලන න්‍යාය පත්‍රයට ඇතුළත් කළ යුතු බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

“ආදායම් ආරක්‍ෂා කිරීම, අපක්ෂපාතී බව පවත්වා ගැනීම සහ බදු වංචා කිරීමට ඇති ඉඩකඩ අවම කිරීම සඳහා සාමාන්‍යයෙන් ආනයනික සහ දේශීයව නිෂ්පාදිත සුරාබදු භාණ්ඩ සඳහා එක හා සමාන බදු අනුපාතයක් අය කරනු ලබයි. එම නිසා මෙලෙස වෙනස් අයුරින් සැලකීම සාමාන්‍යයෙන් සිදු නොවන්නක්” යනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය ආදායම් පරිපාලන විනිශ්චය වාර්තාවේ සඳහන් කර ඇත. ශක්තිමත් දේශසීමා පාලනයක්, ආරක්ෂිත මුද්‍රා පරීක්ෂාව, නිෂ්පාදන නිරීක්ෂණය සහ වෙළඳපල නිරීක්ෂණ පද්ධති මගින් වඩාත් සාධාරණ බදු පදනමක් සැකසීමට ඇගයීමක් සිදු කරන ලෙස අරමුදල ශ්‍රීලංකාවට නිර්දේශ කර ඇත .

තවද, මත්පැන් සඳහා භාවිත කරන ආරක්ෂිත ස්ටිකර් පද්ධතිය සැපයීමේ කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් හදිසි පරිවර්තනීය අවදානමක් පවතින බවද එම වාර්තාව හඳුනාගෙන ඇත. ‘මද්‍රාස් සෙකියුරිටි ප්‍රින්ටර්ස්’ සමාගම සමඟ පවතින කොන්ත්‍රාත්තුව 2027 ජනවාරි මාසයෙන් අවසන් වන අතර, ඊළඟ සැපයුම්කරු තෝරා ගැනීම සඳහා වන ටෙන්ඩර් ලංසු විවෘත කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.