ඩුබායි හීදී ගුවන් යානයකින් පලාගිය ලංකාවේ බළලා සතියකට පසු සොයාගනී .

ඩුබායි අන්තර්ජාතික ගුවන්තොටුපොළේදී අස්ථානගත වූ අවිශ්කා කෞමදී නමැති ශ්‍රී ලංකික තරුණියකට අයත් “චූටි” නම් බළලා නැවත සොයාගෙන තිබේ . මෙම බළලා පලාගිය දින සිට සතියක කාලයක් පුරා සැඟව සිටි අතර අවසානයේදී සිදුකළ දැඩි සෙවීමකින් පසු සොයාගෙන තිබේ.

ඔක්තෝබර් 11 වන දින ඩුබායි සිට කොළඹ බලා පියාසර කිරීමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් මගින් ප්‍රවාහන කටයුතු සිදුකෙරෙමින් පවතින අවස්ථාවේදී මෙම බළලා එහි කූඩයෙන් පැන ගොස් අස්ථානගත වී තිබිණි.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඩුබායි ගුවන්තොටුපොළ කාර්ය මණ්ඩලය විසින් ලබාදුන් නවතම තොරතුරු වලට අනුව, දීර්ඝ හා වෙහෙසකර සෙවීමකින් අනතුරුව මෙම බළලා ගමන් මලු රඳවන carousel tunnel තුළ සිටියදී සොයාගෙන තිබේ.

ගුවන් සේවයේ භාරකාරීත්වය යටතේ සිටියදී මෙම සුරතලා අස්ථානගත වීමත් සමඟම, අදාළ තරුණිය සිය සුරතලා සොයාගැනීමට බලධාරීන්ගෙන් සහය ඉල්ලා තිබුණාය. ඇය තම ගුවන් ගමන පවා ප්‍රතික්ෂේප කරමින්, තම සුරතලා සෙවීම සඳහා පැය 28ක පමණ කාලයක් ගුවන්තොටුපොළ තුළ රැඳී සිටි බව වාර්තා වේ.