රාජ්‍ය අංශයේ සේවකයන්ට ඔවුන් සඳහා නියමිත නිළ ඇඳුමට අමතරව ආගමික සම්ප්‍රදායන්ට අනුකූලව ඇඳුම් ඇඳීමට පැහැදිලිවම ඉඩ සලසමින් නව චක්‍රලේඛයක් නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රජයට නිර්දේශ කර ඇත.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත මෙම නිර්දේශය ඉදිරිපත් කරමින් කොමිෂන් සභාව ඉල්ලා ඇත්තේ, රාජ්‍ය නිලධාරීන් සිය නිළ රාජකාරි ඉටුකිරීමේදී ඔවුන්ව හඳුනා ගැනීමට හැකි බව තහවුරු කරන අතරම, ඔවුන්ගේ ආගමික නිදහස ආරක්ෂා වන පරිදි පැහැදිළි මාර්ගෝපදේශ සකස් කරන ලෙසයි.
තමන් ඉදිරිපත් කළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳ වාර්තාවක් 2026 නොවැම්බර් 11 වැනිදාට පෙර ලබාදෙන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඉල්ලා සිටියි.
මෙම යෝජිත මාර්ගෝපදේශ මගින් සේවකයන්ට තම නිළ ඇඳුමට අමතරව හිස් ආවරණ සහ අනෙකුත් සංවර ඇඳුම් ඇතුළුව සිය ආගමික විශ්වාසයන්ට අනුකූල ඇඳුම් ඇඳීමට අවස්ථාව හිමිවනු ඇත.
කල්මුණේ උතුර මූලික රෝහලේ ඇති වූ ආරවුලක් සම්බන්ධයෙන් සිදුකළ මානව හිමිකම් කොමිෂන් සභා පරීක්ෂණයකින් පසුව මෙම නිර්දේශය ඉදිරිපත් කර තිබේ.
එහිදී මුස්ලිම් ජාතික කාන්තා සෞඛ්‍ය සේවිකාවන් හයදෙනෙකු පැමිණිලි කර තිබුණේ තමන්ට නියමිත නිළ ඇඳුමට අමතරව හිස් ආවරණ (හිජාබ්), දිගු අත් සහිත ඇඳුම් සහ කලිසම් ඇඳීම රෝහල් බලධාරීන් විසින් වළක්වා ඇති බවයි.
ඔක්තෝබර් 12 වැනි දින ලබා දුන් තීන්දුව මගින් කොමිෂන් සභාව පෙන්වා දුන්නේ, රෝහල් බලධාරීන් විසින් ආගමික නිදහස, නීතිය හමුවේ සමානතාවය, තෝරා බේරාගැනීමට ලක්නොවීම සහ නීත්‍යානුකූල රැකියාවක නියැලීමේ නිදහස ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් කිහිපයක්ම උල්ලංඝනය කර ඇති බවයි.
1989 සහ 2022 වසරවල නිකුත් කරන ලද පවත්නා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ මගින් ආගමික හිස් ආවරණ පැළඳීම සෘජුවම තහනම් කර නොමැති බව තම නිරීක්ෂණය බව කොමිෂන් සභාව පවසයි .