මෑතකදී ආනයනය කරන ලද බාල තත්ත්වයේ ගල් අඟුරු හේතුවෙන් ශ්‍රී ලංකාවට සිදුවූ සමස්ත පාඩුව රුපියල් බිලියන 15.765 ක් බව සමස්ත බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පාර්ලිමේන්තුවේදී අද පැවසීය .
එම බාල තත්ත්වයේ ගල් අඟුරු භාවිතය නිසා අහිමි වූ විදුලි උත්පාදන ධාරිතාව (මෙගාවොට්-පැය) පියවා ගැනීම සඳහා විකල්ප මූලාශ්‍රවලින් විදුලිය මිලදී ගැනීමට ජාතික පද්ධති ක්‍රියාකරුට (NSO) වැයවූ මුදල රුපියල් බිලියන 8.571ක් බව ඔහු සඳහන් කළේය .
මෙම බාල තත්ත්වයේ ගල් අඟුරු සැපයුම හේතුවෙන් අතිරේක ගල් අඟුරු තොග පවත්වාගෙන යාම, අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු සහ හැසිරවීමේ ගාස්තු ඇතුළු වියදම් සඳහා ‘Electricity Distribution Lanka (Private) Limited’ (EDL) ආයතනයට අමතරව රුපියල් බිලියන 7.912ක වියදමක් දැරීමට සිදුවූ බව අමාත්‍යවරයා එහිදී පැවසීය .
තත්ත්වයෙන් බාල ගල් අඟුරු සැපයූ සැපයුම්කරුගෙන් රජය විසින් රුපියල් බිලියන 16.989 ක දඩ මුදල් අයකර ගැනීමම සහ පැනවීම සහ කාර්ය සාධන ඇපකර (performance bonds) රඳවා තබා ගැනීම සිදු කර ඇතත්, බාල තත්ත්වයේ ගල් අඟුරු හේතුවෙන් සිදුවූ සමස්ත මූල්‍ය පාඩුව රුපියල් බිලියන 15.765ක් ලෙස ඇස්තමේන්තු කර ඇතිබව ඔහු පැවසීය .