භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය. අද (08) දහවල් ජනාධිපති කාර්යාලයේදී මහා සංඝරත්නය සමග විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය .
නීතිපති, අධිකරණ අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු අමාත්‍යාංශය, බන්ධනාගාර නිලධාරීන් සහ බන්ධනාගාර කොමසාරිස්වරයා ඇතුළත් වන අන්දමින් එම කමිටුව පත් කරන බවද ජනාධිපතිවරයා එහිදි පවසා ඇත .
එමෙන්ම සති දෙකක් ඇතුළත මේ පිළිබඳ අධ්‍යයනය කර සංශෝධන ඉදිරිපත් කිරීමට එම කමිටුවට පවරන බවත්, එහි භික්ෂූන් වහන්සේලාට බලපාන කොටස් මහා සංඝරත්නය සමග සාකච්ඡා කර අනුරූප ලෙස වෙනස් කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.
එසේ නොමැතිව නීති තිබියදී, තනි තනි පුද්ගලයන් වෙනුවෙන් නියෝග ලබාදීමට තමන් සූදානම් නොමැති බවත්, නීතිය වර්තමානයට උචිත නොවේනම් කළ යුත්තේ නිසි පරිදි නීතිය සම්පාදනය කරගැනීම බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කර ගිහි වස්ත්‍ර සහිතව අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කිරීම සම්බන්ධයෙන් මහානායක හිමිවරු බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත යොමු කර ඇති ලිපිය සහ මෙම සිදුවීම පාදක කරගනිමින් සමාජයේ ඇතිවී තිබෙන තත්ත්වයත්, මෙවැනි තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණින් මෙම සාකච්ඡාව පැවැත්විණි. සිය ආරාධනය අනුව මෙම සාකච්ඡාවට එක්වීම පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී මහා සංඝරත්නය වෙත සිය ගෞරවය පුද කළේය.
මෙහිදී වර්තමාන බන්ධනාගාර නීති පද්ධතිය පිළිබඳ වැඩිදුරටත් පැහැදිළි කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මෙසේ පැවසීය .
””වර්තමානයේ අපේ බන්ධනාගාර පාලනය වන්නේ 1877 දී සම්මත කරන ලද බන්ධනාගාර ආඥා පනත මගිනුයි. එම පනත විටින් විට සංශෝධනය වී තිබෙනවා. එම පනතේ 94වන වගන්තියෙන් අමාත්‍යවරයාට විටින් විට රෙගුලාසි පැනවීමට බලය ලබා දී තිබෙන අතර, 2022 වසරේදීම එම රෙගුලාසි සංශෝධනය කර තිබෙනවා.
එමෙන්ම, බන්ධනාගාර පවත්වාගෙන යාම සඳහා අමාත්‍යතුමාගේ අනුමැතියට යටත්ව නිත්‍ය නියෝග පැනවීමට බන්ධනාගාර කොමසාරිස්තුමාට බලය තිබෙනවා.
ඒ අනුව බන්ධනාගාර පද්ධතිය පාලනය වන්නේ පනතකින්, ඇමතිවරයා පණවන රෙගුලාසිවලින් සහ ඇමතිවරයාගේ අනුමැතියට යටත්ව කොමසාරිස්තුමා පනවන නිත්‍ය නියෝග මගිනුයි
මෙහිදී අවස්ථා එකක් දෙකක් හැරෙන්නට, අවධානය යොමු කර තිබෙන්නේ පොදු සිරකරුවන් පිළිබඳවයි. 216 වන රෙගුලාසි වගන්තියේ පමණයි විශේෂයෙන් අපේ හාමුදුරුවන් වහන්සේලා ගැන සඳහන් වන්නේ.
එමනිසා මේ නීති සකස් කිරීමේදී භික්ෂූන් වහන්සේලා හෝ අනිත් ආගමික උතුමන්ලා කේන්ද්‍ර කරගෙන විශේෂ රෙගුලාසි සකස් වී නැහැ”