ප්රතිසංස්කරණ කටයුතුවලින් පසුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අවසරයකින් තොරව උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු ආරම්භ කර ඇති බවට ශ්රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය චෝදනා කර සිටී.
‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදු වූ දැඩි හානි හේතුවෙන් මාස 10කට ආසන්න කාලයක් වසා දමා තිබූ කොළඹ කොටුව සිට පේරාදෙණිය සහ ගම්පොළ දක්වා මාර්ග කොටසේ ධාවන කටයුතු පසුගිය 2 වැනිදා නැවත ආරම්භ කෙරුණි.
කෙසේ වෙතත්, ධාවන කටයුතු නැවත ආරම්භ කර දින දෙකක් ඇතුළත, අද (05) අලුයම 4.35ට පමණ පේරාදෙණිය දුම්රිය ස්ථානයෙන් කොළඹ කොටුව බලා ගමන් ඇරඹූ පළමු කාර්යාල දුම්රියම පීලිපැනීමකට ලක්විය.
ඉහළ කෝට්ටේ, කඩිගමුව සහ ගංගොඩ අතර ප්රදේශයේදී දුම්රිය මාර්ගයට පස් කන්දක් සහ ගල් පතිත වී තිබීම නිසා මෙම පීලිපැනීම සිදු වී ඇත.
පස් සහ ගල් රියදුරුට නිසි ලෙස දර්ශනය නොවීම හේතුවෙන් දුම්රිය එන්ජිම සහ එක් මැදිරියක් පීලිපැනීමට ලක්ව තිබේ.